
📍 ටැස්මන් මුහුදේ හටගත් ප්‍රබල අඩු පීඩන කලාපයක් නවසීලන්තය දෙසට වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් එරට උතුරු සහ දකුණු දූපත් සඳහා නිකුත් කර තිබූ කාලගුණ අනතුරු ඇඟවීම් තවදුරටත් පුළුල් කිරීමට MetService ආයතනය පියවර ගෙන තිබේ. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල මෙම පද්ධතිය දකුණු දූපත හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
📍 මේ වන විට තාරානාකි , වෙලින්ටන් , මාල්බරෝ සහ කැන්ටබරි යන ප්‍රදේශ සඳහා ‘ඔරේන්ජ්’ මට්ටමේ දැඩි සුළං අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. නිරාවරණය වූ ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 140 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් ගස් කඩා වැටීම්, විදුලි රැහැන්වලට හානි වීම් සහ රිය පැදවීමේ අපහසුතා ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
📍 සුළඟට අමතරව දකුණු දූපතේ බටහිර වෙරළ තීරයට දැඩි වර්ෂාපතනයක් ද පුරෝකථනය කර ඇත. බුලර් සහ වෙස්ට්ලන්ඩ් දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 500 සිට 600 දක්වා වූ අතිවිශාල වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥ අල්වින් බැකර් ප්‍රකාශ කළේය.
📍 පවතින තත්ත්වය හමුවේ පහත් බිම්වලින් බැහැරව සිටින ලෙසත්, කාණු සහ වැහි පීලි ශුද්ධ පවිත්‍ර කර තබා ගන්නා ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ. එමෙන්ම සෙනසුරාදා වන විට බටහිර වෙරළ තීරයේ මුහුදු රළ මීටර් 6කට වඩා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස නිවේදනය කර ඇත.
📍 දකුණු දූපතේ ප්‍රධාන නගර රැසක් දැනටමත් දැඩි වර්ෂාවට හසුව ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ කාලගුණික තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0 Comments