
ගංවතුර, නායයෑම් සහ මුහුදු මට්ටම ඉහළ යාම වැනි ස්වාභාවික ආපදා අවදානම් සහිත ප්‍රදේශවල නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට නිවාස ණය (home loans) නිකුත් කිරීමේදී නව සීමා පැනවීමට නවසීලන්තයේ වෙස්ට්පැක් (Westpac) බැංකුව පියවර ගෙන තිබේ. කාලගුණික විපර්යාස සහ ස්වාභාවික ආපදා තර්ජන නිවාස ණය අනුමත කිරීමේ තීරණාත්මක සාධකයක් ලෙස සලකා බලන බව ප්‍රකාශ කළ ප්‍රමුඛතම බැංකුව වන්නේ වෙස්ට්පැක් බැංකුවයි. මෙම නව පියවර යටතේ අධික ආපදා අවදානමක් සහිත දේපළ සඳහා ලබාදෙන ණය මුදල සීමා කිරීමට බැංකුව තීරණය කර ඇති අතර, ඔවුන් විසින් ලබාදෙන නිවාස ණය අතුරින් 2%ක් පමණ මෙලෙස අධික ස්වාභාවික ආපදා අවදානමට ලක්වූ දේපළ ලෙස හඳුනාගෙන ඇත.
වෙස්ට්පැක් බැංකුවේ පාරිභෝගික ණය සහ රක්ෂණ අංශ ප්‍රධානී ජෝ මැක්ග්‍රෙගර් (Jo McGregor) සඳහන් කළේ, ආපදා අවදානම හේතුවෙන් ණය ඉල්ලුම්පත්‍ර සෘජුවම ප්‍රතික්ෂේප නොකළද, අවදානම් සහිත දේපළ සඳහා බැංකුව සපයන ණය ප්‍රමාණය අඩු කිරීමට පියවර ගන්නා බවයි. උදාහරණයක් ලෙස, ඩොලර් මිලියන 1ක ණය මුදලක් ඉල්ලුම් කරන අවස්ථාවක ආපදා අවදානම සලකා බලා ඩොලර් 800,000ක් වැනි මුදලකට ණය සීමා කිරීමට බැංකුව කටයුතු කරනු ඇත. පසුගිය ජූනි මාසයේ පැවැත්වූ සමීක්ෂණයකට අනුව, පාරිභෝගිකයන්ගෙන් 90%ක්ම ස්වාභාවික ආපදා තොරතුරු දැනගැනීමට කැමැත්ත පළ කර තිබුණද, ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමේ අපහසුතාවයක් පවතින බව බැංකුව පෙන්වා දෙයි.
මෙම පියවර පිළිබඳ අදහස් දක්වමින් ස්වාධීන දේශගුණික ආර්ථික විද්‍යාඥ ආචාර්ය බෙලින්ඩා ස්ටෝරි (Dr Belinda Storey) ප්‍රකාශ කළේ, වත්මන් රක්ෂණයක් හෝ රාජ්‍ය අනුමැතියක් තිබූ පමණින් අදාළ දේපළ ඉදිරි දශකය පුරාම සුරක්ෂිත යැයි සිතීම ජනතාව තුළ පවතින වැරදි මතයක් බවයි. 2060 වන විට නවසීලන්තයේ ඩොලර් බිලියන 12.9ක් වටිනා දේපළ 14,000කට වැඩි ප්‍රමාණයක් බරපතල ගංවතුර තර්ජනයට ලක්විය හැකි බවට ගණන් බලා ඇති පසුබිමක, බැංකු පද්ධතිය විසින් ගනු ලබන මෙවැනි තීරණ මඟින් අනාගතයේදී සිදුවිය හැකි මූල්‍ය හා දේපළ හානි අවම කරගැනීමට මහජනතාවට වැදගත් සංඥාවක් නිකුත් කරයි.

0 Comments