
නවසීලන්තයේ රැකියාවක් සහ වීසා බලපත්‍රයක් ලබා දීම සඳහා සංක්‍රමණික සේවකයෙකුගෙන් නවසීලන්ත ඩොලර් 45,000කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබාගත් ඕක්ලන්ඩ් නුවර පිහිටි ලෑන්ඩ්ස්කේපිං සමාගමකට සහ එහි අධ්‍යක්ෂවරයාට එරෙහිව එරට රැකියා සබඳතා අධිකාරිය (ERA) විසින් දැඩි මූල්‍ය දඬුවම් පනවා තිබේ.
‘7 Solutions Limited’ (Auckland City Lawns ලෙස වෙළඳාම් කටයුතු කරන) ආයතනය සහ එහි එකම අධ්‍යක්ෂවරයා වන කමල් ජිත් සිං (Kamal Jeet Singh) විසින් වැටුප් ආරක්ෂණ පනත උල්ලංඝනය කරමින් මෙම බරපතල ශ්‍රම සූරාකෑම සිදුකර ඇති බව නීතිය හමුවේ ඔප්පු වී ඇත.
ඒ අනුව, රැකියා සබඳතා අධිකාරිය විසින් පහත සඳහන් නියෝග නිකුත් කර තිබේ:
🔴 නවසීලන්ත ඩොලර් 44,750ක් (සියලුම මුදල්) වහාම අදාළ සේවකයාට නැවත ගෙවීම.
🔴 සමාගමට නවසීලන්ත ඩොලර් 16,000ක දඩයක්.
සමාගම් අධ්‍යක්ෂ කමල් ජිත් සිංට නවසීලන්ත ඩොලර් 8,000ක පෞද්ගලික දඩයක්.
සමාගම විසින් මෙම මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත්, එහි අධ්‍යක්ෂවරයා තම පෞද්ගලික ධනයෙන් සේවකයාට අදාළ වන්දි මුදල ගෙවීමට බැඳී සිටින බවද අධිකරණය අවධාරණය කර ඇත.
මෙම මුදල් ගනුදෙනු පවුලේ ණය මුදල් ලෙස පෙන්වීමට සමාගම් අධ්‍යක්ෂවරයා උත්සාහ කළද, බැංකු වාර්තා සහ වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ පරීක්ෂා කිරීමෙන් පසු ඔහු සේවකයාගේ අසරණකම මුදල් සූරාකෑමට යොදාගෙන ඇති බව තහවුරු විය. විදේශිකයන්ගේ වීසා සිහිනය උපයෝගී කරගනිමින් මෙලෙස රැකියා සඳහා මුදල් අයකිරීම නවසීලන්ත නීතියට අනුව බරපතල වරදක් වන අතර, මෙවැනි ජාවාරම්වලට හසුවන සේවකයින්ට නොබියව ඉදිරිපත් වී නීතියේ සහය පතන ලෙස එරට කම්කරු පරීක්ෂක කාර්යාංශය දන්වා සිටියි.

0 Comments