
තහනම් සහ අශෝභන දර්ශන සහ ප්‍රකාශන ළඟ තබාගැනීමේ චෝදනා රැසකට මුහුණ දී සිටින ඕක්ලන්ඩ් ප්‍රදේශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන Matthew Rogers, Manukau දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. 50 වැනි වියේ පසුවන මෙම නිලධාරියාට එරෙහිව මීට පෙර පනවා තිබූ නම රහසිගතව තබාගැනීමේ නියෝගය ඉවත් කිරීමත් සමඟ ඔහුගේ අනන්‍යතාවය මෙසේ ප්‍රසිද්ධියට පත් විය.
නවසීලන්ත පොලිස් නිලධාරීන්ගේ ඩිජිටල් හැසිරීම් සහ අන්තර්ජාල පරිශීලනය පිළිබඳව ක්‍රියාත්මක වන පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස රොජර්ස් ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇත. අධිකරණ ලේඛනවලට අනුව, රොජර්ස්ට එරෙහිව නීතිවිරෝධී ප්‍රකාශන ළඟ තබාගැනීමේ චෝදනා 9ක් එල්ල වී ඇති අතර, මෙම වැරදි 2023 අගෝස්තු සහ 2025 ඔක්තෝබර් අතර කාලය තුළ සිදුව ඇති බව පැවසේ.
චිත්‍රපට, වීඩියෝ සහ ප්‍රකාශන වර්ගීකරණ පනත යටතේ මෙම චෝදනාවලට වැරදිකරු වුවහොත් ඔහුට වසර 10ක් දක්වා සිරදඬුවම් හෝ ඩොලර් 50,000ක උපරිම දඩයක් නියම විය හැකිය.
මෙම දැවැන්ත පරීක්ෂණය ආරම්භ වූයේ හිටපු නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Jevon McSkimming ගේ රාජකාරි විද්‍යුත් උපාංගවල තිබී ළමා ලිංගික අපයෝජන ඇතුළු අසභ්‍ය දර්ශන හමුවීමෙන් පසුව ඔහු ඉල්ලා අස්වීමත් සමඟය. පොලිස් නිලධාරීන්ගේ උපාංග 22ක් පරීක්ෂා කර ඇති අතර, එයින් නිලධාරීන් 4 දෙනෙකු ඉල්ලා අස්වී ඇති අතර තවත් කිහිපදෙනෙකුට අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
නවසීලන්ත පොලිස් ප්‍රධානීන් අවධාරණය කරන්නේ තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව සාමාන්‍ය ජනතාවට සේම තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි. දැනට චෝදනා ලබා සිටින නිලධාරීන් තිදෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් අත්හිටුවා තිබේ.

0 Comments