
නවසීලන්තයේ අවන්හලක කුස්සි අත්උදව්කරුවෙකු (Kitchen Hand) ලෙස සේවය කළ සංක්‍රමණික ශ්‍රමිකයෙකුගෙන්, රැකියාව සහ වීසා බලපත්‍රය ලබාදීම සඳහා නීතිවිරෝධී ලෙස නවසීලන්ත ඩොලර් 25,000ක් මුදලක් ලබාගත් අවන්හල් හිමිකරුවෙකුට එම සම්පූර්ණ මුදල සහ විශාල වන්දියක් ගෙවන ලෙස නවසීලන්ත රැකියා සබඳතා අධිකාරිය (Employment Relations Authority – ERA) නියෝග කර තිබේ.
මෙය නවසීලන්තයේ සිදුවන ශ්‍රමික සූරාකෑම්වලට එරෙහිව ලැබුණු ඉතා වැදගත් සහ ප්‍රබල නීතිමය ජයග්‍රහණයකි.
🔴 රැකියාවේ නාමයෙන් සිදුවූ මහා මංකොල්ලය.
නවසීලන්ත නීතියට අනුව රැකියාවක් ලබාදීම සඳහා සේවකයන්ගෙන් මුදල් අය කිරීම සපුරා තහනම් වේ. කෙසේ වෙතත්, තම වීසා බලපත්‍රය රැකගෙන රට තුළ රැඳී සිටීමට ඇති දැඩි වුවමනාව නිසා මෙම අසරණ සේවකයා රහසිගතව මෙම විශාල මුදල හිමිකරු වෙත ලබා දී තිබුණි.
මුදල් ලබා ගැනීමෙන් පසුවද අවන්හල් හිමිකරු සේවකයාට නිසි ලෙස වැටුප් ගෙවා නොමැති අතර, දිනකට අධික වේලාවක් වැඩ ගනිමින්, “කෑගැසුවහොත් වීසා අවලංගු කරනවා” යැයි පවසමින් දිගින් දිගටම තර්ජනය කර සූරාකෑමට ලක් කර ඇත.
🔴 අධිකරණය විසින් හිමිකරුට දුන් දැඩි දඬුවම.
මෙම වංචාවෙන් බේරී පලාගිය සේවකයා ERA ආයතනය වෙත පැමිණිලි කිරීමෙන් පසු කරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ අවන්හල විසින් සේවකයන්ගේ පැමිණීමේ ලේඛන හෝ නිවාඩු වාර්තා කිසිවක් නිසි ලෙස පවත්වාගෙන ගොස් නොමැති බවයි.
සේවකයාගේ අසරණකම ප්‍රයෝජනයට ගැනීම දැඩි ලෙස හෙළා දුටු අධිකරණය, වහාම ක්‍රියාත්මක වන පරිදි සේවකයාගෙන් ගත් ඩොලර් 25,000 සම්පූර්ණයෙන්ම නැවත ගෙවන ලෙසත්, නොගෙවූ හිඟ වැටුප්, නිවාඩු දින දීමනා සහ පොලිය ද සමඟ විශාල වන්දි මුදලක් ගෙවන ලෙසත් නියෝග කළේය. මීට අමතරව කූට හිමිකරුට විශාල දඩ මුදලක්ද පනවා ඇත.
මෙම තීන්දුව මඟින් නවසීලන්ත රජය සියලුම විදේශීය සේවකයන්ට පණිවිඩයක් දෙමින් කියා සිටින්නේ, වීසා තත්ත්වය කුමක් වුවත් ඕනෑම සේවකයෙකුට රටේ පොදු රැකියා නීතිය එකලෙස බලපාන බැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට බිය නොවන ලෙසයි.

0 Comments