
නවසීලන්තයේ South Wairarapa කලාපයට බලපෑ දරුණු අයහපත් කාලගුණය හේතුවෙන් එහි වෙසෙන වෙරළබඩ ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගියදා රාත්‍රියේ ඇද හැළුණු මහා වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ ගංගා පිටාර ගැලීමෙන් Lake Ferry මාර්ගයේ පිහිටි ප්‍රධාන පාලමක් සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබේ.
මෙම පාලම විනාශ වීමත් සමඟ Lake Ferry, Ngawi සහ Cape Palliser ඇතුළු වෙරළබඩ ගම්මාන රැසකට ඇතුළු වීමට සහ පිටවීමට තිබූ එකම මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරී ගොස් ඇත. මේ හේතුවෙන් සිය ගණනක ජනතාවක් බාහිර ලෝකයෙන් මුළුමනින්ම හුදෙකලා වී සිටිති.
ගංවතුර තත්ත්වය දරුණු වීම නිසා පහත් බිම්වල පිහිටි නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අතර, හදිසි සහන සේවා කණ්ඩායම් මැදිහත් වී අවදානම් කලාපවල සිටි පවුල් කිහිපයක්ම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබේ. පාලම අසල මීටර් 3කට වඩා විශාල මඩ වළක් නිර්මාණය වී ඇති බැවින් සහන සේවා රථවලට පවා එම ගම්මාන වෙත ළඟාවීම අසීරු වී ඇත.
ප්‍රදේශයේ අහස වලාකුළුවලින් බරවී පැවතීම නිසා ගුවන් මඟින් ආධාර සැපයීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වී ඇති අතර, මේ වනවිට විශේෂ 4×4 ධාවන රථ (Four-wheel drive) භාවිත කරමින් හුදෙකලා වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ ද්‍රව්‍ය සැපයීමට බලධාරීන් කටයුතු කරමින් සිටී. මෙම පාලම නැවත යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වේ.

0 Comments