← BACKUncategorized

ලෝකයෙන්ම තේරී පත්වුණු සිව්දෙනා අතර ශ්‍රී ලංකාවේ වෛද්‍ය සත්‍යා හේරත්! ජාත්‍යන්තරය දිනූ අපේ රටේ නිහඬ වීරවරිය!

BY Dhanush•PUBLISHED JULY 26, 2026•1 MIN READ•0 COMMENTS

ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ “හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන්” අතරට ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්වෙමින් මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ට ජාත්‍යන්තර අභිමානයක් අත්කර දී තිබේ. ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත විශේෂඥයින් අතුරින් මෙවර මෙම කීර්තිමත් සම්මානය සඳහා තෝරාගෙන ඇත්තේ පුද්ගලයින් සිව්දෙනෙකු (04) පමණක් වන අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) ප්‍රධාන අවදානම් ජනගහන වැඩසටහන් විශේෂඥ වෛද්‍යවරිය ලෙස කටයුතු කරන සත්‍යා හේරත් මහත්මිය මෙරට HIV, හෙපටයිටිස් B සහ C මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වැළැක්වීම උදෙසා කළ සුවිශේෂී කැපවීම මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වී ඇත.

අධි අවදානම් සහිත ජනකොටස් වෙත සෘජුවම ගොස් සෞඛ්‍ය සේවා සැපයීමේ පුරෝගාමී මෙහෙවරක නිරත ඇය, 2018 වසරේ සිට එකම ස්ථානයකින් සෞඛ්‍ය අධ්‍යාපනය, හානි අවම කිරීමේ සේවා, ඉක්මන් පරීක්ෂණ, ප්‍රතිකාර සහ මානසික සහාය ලබාගත හැකි “එකම වහලක් යටදී සේවා සැපයීමේ” (One Stop Shop) සංකල්පය මෙරටට හඳුන්වා දුන්නාය. ඊට අමතරව 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටු හා සිරින්ජ හුවමාරු වැඩසටහන (Needle Syringe Program) ආරම්භ කිරීමටත්, 2022 වසරේ සිට ප්‍රජාව මූලික කරගත් හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව හඳුන්වා දෙමින් රෝගීන් සුවපත් කිරීමේ ප්‍රතිශතය වේගවත්ව ඉහළ නැංවීමටත් ඇය කටයුතු කළාය.

එමෙන්ම “මා පිය සුමිතුරෝ” සංවිධානයේ Parentcraft වැඩසටහන ඔස්සේ ගර්භණී මව්වරුන් හා ඔවුන්ගේ සහකරුවන් දැනුවත් කිරීමටද ඇය පුරෝගාමී වී සිටියි. 2030 වසර වන විට වෛරස් හෙපටයිටිස් ලොවින් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගෙන යාමට ශක්තියක් වූ මෙම ජාත්‍යන්තර සම්මානය, මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ විශාලතම ජාත්‍යන්තර ජයග්‍රහණය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකීය නම ජාත්‍යන්තරය ඉදිරියේ බැබළවූ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මියට අපගේ උණුසුම් සුභපැතුම්!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *