
කතෝලික සභාවේ පාප්වහන්සේගේ සහ වතිකානුවේ නියෝග සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින්, නිල අනුමැතියකින් තොරව බිෂොප්වරයෙකු ලෙස අභිෂේක ලැබූ ධර්මදූත පූජක මයිකල් මේරි සිම් (Michael Mary Sim) පූජකවරයා කතෝලික සභාවෙන් සහමුලින්ම නෙරපා හැරීමට පියවර ගෙන තිබේ. ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් (Aberdeen) දේවස්ථානයයේ බිෂොප් හියු ගිල්බට් (Hugh Gilbert) විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගයකට අනුව, කතෝලික සභාවේ එකමුතුබව බිඳදමමින් නිකාය භේදයක් ඇතිකිරීමේ වරදට වයස අවුරුදු 73ක් වන මෙම නවසීලන්ත ජාතික පූජකවරයා වරදකරු කර ඇත. මෙම තහනම හමුවේ ඔහුට පූජක තනතුර අහිමි වන අතරම කිසිදු කතෝලික පූජා කර්මයක් හෝ දිව්‍ය පූජාවක් පැවැත්වීමද සම්පූර්ණයෙන් තහනම් වේ.
ට්රාන්ස්ඇල්පයින් රෙඩෙම්ප්ටොරිස්ට්වරුන් (Transalpine Redemptorists) ලෙසද හැඳින්වෙන, පූජක සිම් විසින් පිහිටුවන ලද ‘සන්ස් ඔෆ් ද මොස්ට් හොලි රිඩීමර්’ (Sons of the Most Holy Redeemer) නමැති සාම්ප්‍රදායික පූජක කණ්ඩායම ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් සමූහයට අයත් පාපා ස්ට්රොන්සේ (Papa Stronsay) හි පිහිටා ඇත. දෙවන වතිකානු මහ සභාවෙන් පසුව පත්වූ පාප්වහන්සේලාගේ නීත්‍යානුකූල භාවය සහ ආද්‍යාත්මික බලය ප්‍රතික්ෂේප කරන අන්තවාදී මතවාදයක් වැළඳගත් මොවුන්, වතිකානුවේ දැඩි අවවාද පවා නොසලකා හරිමින් මෙම නීති විරෝධී බිෂොප් අභිෂේක උත්සවය පවත්වා තිබුණි.
මෙම සිදුවීමට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් බිෂොප් ගිල්බට් සඳහන් කළේ, සභාවේ එකමුතුකම කඩාකප්පල් කරමින් මොවුන් සිදුකරන්නේ “ආත්මීය සියදිවි නසාගැනීමක්” බවයි. කෙසේ වෙතත්, අනාගතයේදී පූජක සිම් සිය වරද පිළිගෙන විධිමත් ලෙස පශ්චාත්තාප වුවහොත් මෙම තහනම ඉවත් කරගැනීමට ඉඩකඩ පවතින බවද සභාව පවසයි.
මේ අතර, අදාළ පූජකවරයාට සහ ඔහුගේ කණ්ඩායමට එරෙහිව මෙවැනි පියවරක් ගැනුණේ දීර්ඝ කාලයක සිට පැවැති මතභේදාත්මක ක්‍රියාකලාපයන් හේතුවෙනි. මොවුන් පසුගිය කාලයේ නවසීලන්තය තුළද කටයුතු කළ අතර, 2023 වසරේදී අවසරයකින් තොරව යක්ෂයන් පලවාහැරීමේ පූජා (unauthorized exorcisms) පැවැත්වීම සහ බලතල අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල විය. ඒ හේතුවෙන් 2024 මැද භාගයේදී ක්‍රයිස්ට්චර්ච් (Christchurch) දේවස්ථානයේ බිෂොප් මයිකල් ගීලන් විසින් මොවුන්ගේ මහජන ආගමික මෙහෙයන් අත්හිටුවීමට පියවර ගත්තේය. වතිකානුවේ අධිකාරියට අභියෝග කරමින් කතෝලික සභාව තුළ මතභේද ඇතිකිරීමට උත්සාහ කරන කණ්ඩායම්වලට එරෙහිව කතෝලික සභාව තදින්ම කටයුතු කරන බව මෙම පියවරෙන් තවදුරටත් තහවුරු වේ.

0 Comments