
1. මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?
නදී තරංගා කියන මගේ ශිෂ්‍යාව විසින් මෙල්බර්න් නගරයේ පවත්වාගෙන යන කලායතනයේ කළඑළි මංගල්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව අචලා දිල්රුක්ෂි කලායතනය විසින් සංවිධානය කෙරෙන “අග්නි පූජා” ප්‍රසංගය ඩුබායි හිදී පෙබරවාරි මස 15 වැනි දින පැවැත්වෙනවා. පෙබරවාරි 22 වැනිදා පටන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සංදර්ශන 8ක් සංවිධානය කෙරෙමින් පවතිනවා. විදේශගත දරුවන් වෙනුවෙන් කලායතනයන් හරහා ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. ඒ වගේම ටෙලි නාට්‍ය හතරක රංගන කටයුතු සඳහාත් සම්බන්ධ වෙලා ඉන්නවා.
2. අවුරුදු ගණනාවකට පස්සේ සංවිධානය වෙන අලුත්ම ප්‍රසංගය ගැනත් කතා කරමු.
ඒ ගැන කතා කරනවා නම්, ලයනල් රන්වලයන්ගේ කාලයේ ඉඳලම ජනගීය ප්‍රාසාංගිකව ඉදිරිපත් කරන වැඩසටහන් / සංදර්ශන කිහිපයක්ම අඛණ්ඩව පැවැත්වුණා. නමුත් රටේ පැවති අර්බුධකාරී වාතාරණය නිසා අපිට සැලසුම් සහගතව වැඩේ කරගෙන යන්න අවස්තාව ලැබුණේ නැහැ. අවුරුදු දහයකට පස්සේ අපිට හැකියාව ලැබෙනවා “යක්කු බොලව්” නමින් අලුත් ප්‍රාසාංගික අත්දැකීමක් නවසීලන්ත ජනතාවට ලබා දෙන්න. ඊට අමතරව තවත් සංදර්ශන 5ක් පැවැත්වීමට නියමිතයි. මේ සඳහා රන්වල බලකායට අනුබද්ධ ශිල්පීන් අතුළු ප්‍රවීණයක් රැසක් සහ නර්තන කණ්ඩායම් රැසක් සම්බන්ධ වෙනවා.
3. මෙම කර්තව්‍යයන් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ දරුවන්ගේ දායකත්වය මොනවගේද?
වත්මන් කලායතනවලට සමබන්ධ වෙලා ඉන්න දරුවන් ගැන කතා කරනවානම්, හරිම උනන්දුවෙන් පුරුදු පුහුණු වෙනවා, ඉගෙන ගන්නවා. අපි වාර්ශිකව දවස් පහක වැඩමුලුවක් පවත්වනවා. මේ සඳහා විදෙස් රටවල්වල ළමයි බොහොම උනන්දුවෙන් සහභාගී වෙනවා. මම හිතනවා ඒකට විශේෂ හේතුවක් තියෙනවා කියලා. ඒ තමයි වෙනත් රටකට ආවම තමයි තේරෙන්නේ අනන්‍යතාවය පිලිබඳ අවශ්‍යතාවය කොච්චර ද කියලා. දැනට මේ රටවල ජීවත්වෙන අයට ඒ අවශ්‍යතාවය හොඳින්ම දැනෙනවා ඇති. උදාහරණයක් විදියට ලංකාව ගත්තොත්, නගරාසන්න ප්‍රදේශවල සහ ජනප්‍රිය පාසල්වල දරුවෝ තමයි වැඩිපුරම කාලායතනවලට සම්බන්ධ වෙලා ඉන්නේ. අවසනාවකට අපේ සංස්කෘතික අංගවල සෑබෑ උරුමකරුවන්ට සාපේක්ෂව අඩු උනන්දුවක් තියෙන්නේ කියලා මට දැනිලා තියෙනවා. ඒකට එක හේතුවක් විදියට මම දකින්නේ අපිට දැනටමත් තියෙන දේවල් ගැන අපිට වටිනාකමක් දැනෙන්නේ නැහැ. අපිට නැති දේවල් තමයි වටින්නේ සහ අපි වැඩිපුරම උනන්දු වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට බටහිර දේවල් වැළදගැනීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඇත්තටම ලංකාව පැත්තෙන් ලොකු අඩු පාඩුවක් මම දකිනවා මෙච්චර ළමයි, ගුරුවරු මහන්සි වෙනවා අපේ දේ රැකගන්න. නමුත් රටක් විදියට මේ දේවල් දිනාගන්න, රැකගන්න වැඩපිළිවෙලක් තවමත් හදලා නැහැ. මට ඒ ගැන ස්වයං විවේචනයක් තියෙනවා. ඒ නිසාම අපි ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් ගොඩනගන්න සැලසුම් කරමින් ඉන්නවා.
4. විදේශීය කලායතන පවත්වාගෙන යෑමට සහ නිර්මාණ සම්පාදනය කිරීමට ලාංකික ප්‍රජාවගේ දායකත්වය පිළිබඳ කතා කළොත්?*
මේ වෙනකොට ලෝකේ පුරා ශ්‍රී ලාංකික ප්‍රජාව විසිරිලා ඉන්නවා. ඒ අතර ඉන්නවා නර්තනය, සංගීතය ආදී කලා ක්ෂේත්‍රය සම්බන්ධව දැනුමක් තියෙන සහ විශ්ව විද්‍යාල මට්ටම අභිබවා අධ්‍යාපන සුදුසුකම් සැපිරූ අය. බොහොමයක් අය උපාධිධාරීන් සහ වෙනත් රැකියාවල නියැලෙන්නන්. ඇත්තවශයෙන්ම ඔවුන්ගේ දායකත්වය අගය කළ යුතුමයි. මොකද ඒ පුද්ගලයන් මහා වෑයමක් දරලා ලාංකීය අභිමානය බටහිර රටවලට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම් මේ කලායතන හරහා අධ්‍යාපනය ලබා ගත්ත දරුවෝ මේ වෙනකොට එයාලගේ බාල පරම්පරාවත් මේ සඳහා යොමු කරන අවස්ථාවන් බොහොමයක් ගැන මම දන්නවා. ඔවුන්ගේ උත්සහය සහ කැපවීම අගය කළ යුතුයි.
5. මෙම කර්තව්‍යයන් සඳහා රජයේ දායකත්වය මොනවගේද?
සමස්තයක් විදියට ගත්තම වර්තමානයේ පවතින අධ්‍යාපන රටාවත් එක්ක තරඟකාරී ලෝකය සමඟ ගැටෙන දරුවෝ ඉන්නේ ලොකු පීඩනයක. ඒ පීඩනය පාලනය කරගෙන මනස සැහැල්ලු කරගන්න මේ කලාව කියන දේ ලොකු පිටුවහලක්. නමුත් බහුතර මතය තමයි නර්තනය හදාරන දරුවෙන් යම් දිනයක නැට්ටුවෙක් විය යුතුයි කියන එක. සංගීතය හදාරන දරුවෙක් පූර්ණකාලීන ගායකයෙකු හෝ වාදකයෙකු ලෙස ජීවත් විය යුතු නැහැ. ඒක එහෙම වෙන්න හෝ වරදවා වටහා ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි කලාව ඉගෙන ගන්න ඕනි ජීවිතයට රසවින්දනය මුහු කරන්න, මනසට විවේකයක් දෙන්න, තරඟකාරී දිවි පෙවෙතෙන් මොහොතකට මිදෙන්න. ඒ අතරතුර දරුවාගේ රුචිකත්වය අනුව ඔහුට තීරණය කරන්න පුලුවන් තමා අනාගතයේ නර්තන ශිල්පියෙකු හෝ ගායන ශිල්පියෙකු වෙනවද කියලා. නමුත් මගේ අදහස තමයි අධ්‍යාපන ක්‍රමවේදය තුළින් දරුවන්ට මේ දේවල් නිසියාකාරව ලබා දෙන්න වැඩ පිලිවෙලක් හදන්න රජයේ සෘජු දායකත්වය අවශ්‍යයි. ජීවිතයේ හරය දකින, ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන, අර්ථවත් ජීවන රටාවක් ගෙවන මිනිසුන් පිරිසක් බිහිවෙන්න මේ නිර්මාණකරණය ලොකු උදව්වක් කියලා මම විශ්වාස කරනවා.
6. ඉපැරණි සංස්කෘතික අංග බටහිර පන්නයට නවීකරණය වීම හොඳ ප්‍රවණතාවයක්ද?
මේක ඇත්තටම පුළුල්ව විග්‍රහ කළ යුතු කාරණයක්. අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතු කරුණක් තමයි ඇයි අපි බටහිර දේවල්ම වැළඳ ගන්නේ කියන එක්. මම හිතනවා ලංකාව, සියවස් ගණනාවක් බටහිර යටත් විජිතයක්ව පැවතීමත් මේ සඳහා ලොකු බලපෑමක් ඇති කළා කියලා. එවැනි වාතාවරණයක අපි හිතනවා පෙරදිග සංස්කෘතිය ජ්‍යාත්‍යන්තරයට ගෙනියන්න නම් බටහිර සංස්කෘතිය මුහු කළ යුතුයි කියලා. නමුත් අපි කළ යුත්තේ බටහිර ශිල්පීය ක්‍රම, තාක්ෂණය, නිර්මාණයක ගුණාත්මක බව අධ්‍යනය කිරීම සහ ඒවා භාවිතයෙන් ලංකාවට අනන්‍ය වූ නිර්මාණයන් බිහි කිරීම මිසක් බටහිර නිර්මාණ සහ ලාංකීය නිර්මාණ මුහු කිරීම හෝ බටහිර නිර්මාණ පිටපත් කිරීම නෙමෙයි. මොකක් හරි දෙයක් කරලා ජනප්‍රිය වෙනවට වඩා තමන්ගේකම, ලාංකීය අනන්‍යතාවය සහිත ගුණාත්මක නිර්මාණයක් බිහි කිරීම වටිනකමින් ඉහළයි කියලා මම විශ්වාස කරනවා.
7. මෙතෙක් පැවැත්වුණු වැඩසටහන් සඳහා ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තවශයෙන්ම ලැබුණු ප්‍රතිචාර ගැනනම් ඉතාම තෘප්තිමත්. විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් මත ඇතැම් ප්‍රසංග දර්ශනවාර කිහිපයක්ම සංවිධානය කරන්න අපිට සිද්ධ වුණා. ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රසංග සහ වැඩමුලු සඳහා සම්බන්ධ වෙන ප්‍රමාණයද ඉහළ ගියා. පහුගිය දවසක නවසීලන්තයේ පවැත්වූ වැඩමුලුවක් සඳහා ලියාපදිංචි කරගැනීම අතරමඟ නවත්වන්න සිද්ධ වුණා බලාපොරොත්තු වුණු ප්‍රමාණය ඉක්මවා ගිය නිසා. ඇත්තටම ඒ වගේ ප්‍රතිචාර ලැබෙන එක ලොකු සතුටක් සහ ආඩම්බරයක්.
8. ඉදිරි සැලසුම් පිළිබඳව කතා කළොත්?
මම දැකපු දෙයක් තමයි ලෝකේ පුරාම ඉන්න ලාංකික දරුවෝ නර්තනය හදාරනවා. නමුත් එක්තරා වයසකට එළඹුනාට පස්සේ බොහෝමයක් දරුවෝ මේ දේවල්වලින් ඈත් වෙනවා. සමහර විට වයසින් වැඩෙනකොට ඒ දරුවට එයාගේ දක්ෂතාවයට සරිලන වේදිකාවක් නිර්මාණය නොවීම මේකට හේතුවක් වෙන්න පුලුවන්. මේ ගැටලුවට විසඳුමක් විදියට ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ එකට එකතු කරන වේදිකාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ගෝලීය ශ්‍රී ලාංකික පවුලක් නිර්මාණය කරන *Rhythm of Lanka* ප්‍රසංගය 2026 අවුරුද්දේ දෙසැම්බර් මස 19 වැනි දින පැවැත්වීමට නියමිතයි. ඒ වගේම දෙසැම්බර් මස 20 වැනි දින සුහද කතා බස්වලට ඉඩක් දෙන සමාජ දිනයක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කරලා තියෙනවා. නවසීලන්තයේ ඉන්න අපේ ප්‍රජාව ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් දෙසැම්බර් මාසයේ එන්න අපිත් එක්ක එකතු වෙන්න නෙළුම් පොකුණ රඟහළ වෙත.

0 Comments