
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් නවසීලන්ත කම්කරු පක්ෂය (Labour Party) සිය රැකියා සහ පුහුණු ප්‍රතිපත්තියේ මූලික පියවරක් ලෙස, මාඕරි (Māori) සමාජය මූලික කරගත් වෘත්තීය පුහුණු වැඩසටහනක් සඳහා වසරකට නවසීලන්ත ඩොලර් මිලියන 21ක මුදලක් වෙන්කිරීමට යෝජනා කර තිබේ. “Backing Māori into Skilled Work” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් වසරකට 3,000කට ආසන්න පිරිසකට උසස් රැකියා සහ වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇත.
කම්කරු පක්ෂ නායක ක්‍රිස්ටෝෆර් හිප්කින්ස් (Chris Hipkins) සහ මාඕරි සංවර්ධන ප්‍රකාශක විලී ජැක්සන් (Willie Jackson) විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් ප්‍රාදේශීය ව්‍යාපාර සහ මාඕරි සංවිධාන ඒකාබද්ධ කරමින් නව පුහුණු ක්‍රමවේදයක් සකස් කෙරේ. වර්තමානයේ නවසීලන්තයේ මාඕරි වැසියන්ගේ රැකියා විරහිතභාවය 10.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත ජාතික අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. මෙම පරතරය අවම කිරීම සඳහා කෙළින්ම ප්‍රාදේශීය රැකියා වෙළඳපොළට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මීට පෙර ක්‍රියාත්මක වූ මෙවැනිම වැඩසටහන්වලින් පුහුණුව ලැබූවන්ගෙන් සියයට 81ක් සාර්ථකව රැකියාවල නිරත වූ බව පෙන්වා දෙන කම්කරු පක්ෂය, මෙම නියාමන ක්‍රමවේදය මගින් වෘත්තීය නිපුණතාවට අමතරව අදාළ ප්‍රජාවන්ට අවශ්‍ය සමාජීය සහ මානසික සහයෝගයද හිමිවන බව ප්‍රකාශ කරයි. මෙම ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියට අමතරව, සමස්ත වෘත්තීය පුහුණු ක්ෂේත්රය නැංවීම සඳහා “Apprenticeship Boost” වැඩසටහනද තවදුරටත් පුළුල් කිරීමට කම්කරු පක්ෂය යෝජනා කර තිබේ.

0 Comments