← BACKImmigration Updates

නවසීලන්තයට එන්න ඉන්න අයට රතු එළියක්! ව්‍යාජ උපදේශකයන්ට අහුවෙලා සල්ලියි ජීවිතයි දෙකම නැතිකරගන්න එපා….

BY Dhanush•PUBLISHED SEPTEMBER 21, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ අධ්‍යාපනය සහ රැකියා ලබාදෙන බව පවසමින් සංක්‍රමණික පවුල් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බලපත්‍ර නොමැති උපදේශිකාවකට එරෙහිව මෙරට අධිකරණය හමුවේ චෝදනා රැසක් තහවුරු වී තිබේ. AIS.Walker සහ Walker Travel Education යන ආයතන පවත්වාගෙන යමින් චිලී ජාතිකයන් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව සිදුකර ඇති පඕලා වෝකර්-රොඩ්‍රිගෙස් (Paola Walker-Rodriguez) නමැති කාන්තාව, 2007 සංක්‍රමණික උපදේශක බලපත්‍ර පනත යටතේ ඉදිරිපත් වූ චෝදනා 12 කින් 11 කටම වරදකාරිය බවට ඕක්ලන්ඩ් දිසා අධිකරණය විසින් තීන්දු කර ඇත. ඇයට සහාය දැක්වූ ඇගේ සැමියා වන මවුරෝ දොනොසෝ ගොඩෝයි (Mauro Donoso Godoy) ද බලපත්‍ර නොමැතිව සංක්‍රමණික උපදේශන සැපයීමේ චෝදනාවට වරදකරු වී තිබේ.

2023 මාර්තු සහ 2025 මැයි අතර කාලය තුළ නවසීලන්තයේ ජීවත්වන චිලී ජාතිකයන් පස්දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි මත වෘත්තීය, නවෝත්පාදන සහ රැකියා අමාත්‍යාංශය (MBIE) මගින් මෙම විමර්ශන ආරම්භ කර තිබිණි. පුද්ගලික උපදේශනය, වීසා ඉල්ලුම්පත්‍ර සහාය සහ නවාතැන් පහසුකම් ඇතුළත් “නවසීලන්තයේ අධ්‍යාපනය සහ රැකියා” පැකේජ සඳහා මෙම වින්දිතයන් විශාල මුදලක් ගෙවා තිබුණද, ඔවුන් නවසීලන්තයට පැමිණි පසු හෙළි වී ඇත්තේ ඔවුන්ගේ ශිෂ්‍ය වීසා ඉල්ලුම්පත්‍ර සංක්‍රමණික දෙපාර්තමේන්තුව වෙත යොමු කර පවා නොමැති බවයි. එමෙන්ම ඔවුන් පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා ගෙවන ලද ගාස්තු ද අදාළ ආයතන වෙත ගෙවා නොමැති බව අනාවරණය වී ඇත.
බලපත්‍ර නොමැතිව සංක්‍රමණික උපදේශන සැපයීම වසර 7 දක්වා සිරදඬුවම් සහ නවසීලන්ත ඩොලර් 100,000 දක්වා දඩ නියම විය හැකි බරපතල වරදක් බව පවසන වෘත්තීය නියාමන ජාතික කළමනාකාර බීවන් යී (Bevan Yee), ව්‍යාජ පොරොන්දු නිසා අසරණ වූ පවුල්වලට සිදු වූ අලාභය මෙම නඩු තීන්දුවෙන් තහවුරු වන බව සඳහන් කළේය. සංක්‍රමණික දෙපාර්තමේන්තුවේ අවදානම් සහ සත්‍යාපන අංශයේ ජාතික කළමනාකාර ආරොන් ස්මිත් (Aaron Smith) පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සිසුන් සුරක්ෂිත කිරීම සඳහා පද්ධතියේ සියලුම අංශ එක්ව කටයුතු කිරීමේ වැදගත්කමයි. මෙම වංචාවලින් බේරීම සඳහා සංක්‍රමණික උපදේශක අධිකාරියේ (IAA) නිල වෙබ් අඩවිය ඔස්සේ උපදේශකයන්ගේ බලපත්‍ර තත්ත්වය පරීක්ෂා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වරදකරුවන් වූ යුවළට දඬුවම් නියම කිරීම 2027 මුලදී සිදුකිරීමට නියමිතය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *