
නවසීලන්තයේ ආහාර ද්‍රව්‍ය වෙළඳපොළේ පවතින ද්විත්ව ඒකාධිකාරිය බිඳහෙළීම සඳහා ‘ෆුඩ්ස්ටෆ්ස්’ (Foodstuffs) සමාගම වෙන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට මෙරට ජනතාවගේ කැමැත්ත හිමිව තිබුණද, එමගින් භාණ්ඩ මිල ගණන් පහත වැටෙනු ඇතැයි ඔවුන් විශ්වාස නොකරන බව රහසිගතව පැවැත්වූ අභ්‍යන්තර ජනමත විචාරණයකින් හෙළි වී තිබේ.
Stuff පුවත් සේවය විසින් අනාවරණය කරගෙන ඇති මෙම අභ්‍යන්තර සමීක්ෂණ වාර්තාවට අනුව, ජීවන වියදම් පීඩනය හමුවේ foodstuffs සමාගම සතු Pak’nSave වට්ටම් ජාලය, New World සහ Four Square යන සුපිරි වෙළදසැල් ජාලයන්ගෙන් වෙන් කිරීමට රජය ගන්නා උත්සාහයට බහුතර ජනතාවගේ සහයෝගය හිමිව තිබේ.
කෙසේ වෙතත්, මෙලෙස ව්‍යාපාරික ව්‍යුහය වෙනස් කිරීමෙන් පමණක් තමන්ගේ සතිපතා බඩු බිල අඩු වනු ඇතැයි යන්න පිළිබඳව ජනතාව තුළ පවතින්නේ දැඩි සැකයකි.
මුදල් අමාත්‍ය නිකොලා විලිස් (Nicola Willis) ගේ නායකත්වයෙන් යුත් ජාතික පක්ෂයේ නව ප්‍රතිපත්තියට අනුව, වාණිජ කොමිෂන් සභාවේ (Commerce Commission) මාස හයක අධ්‍යයනයකින් පසුව ෆුඩ්ස්ටෆ්ස් සමාගම වෙන් කරමින්, Woolworths සමාගමට අමතරව තවත් තරගකාරී සමාගම් තුනක් ක්ෂේත්රයට හඳුන්වා දීමට යෝජිතය.
නව තරගකරුවන් පැමිණීමෙන් භාණ්ඩ මිල අඩු වන බව රජය පැවසූවද, සැපයුම් ජාල වෙන වෙනම පවත්වාගෙන යාමට සිදුවීමෙන් පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ මිල තවත් වැඩි විය හැකි බවට ෆුඩ්ස්ටෆ්ස් උතුරු දිවයින් ප්‍රධානී ක්‍රිස් ක්වින් (Chris Quin) අනතුරු අඟවයි. වත්මන් වෙළඳපොළෙන් 82% ක්ම මෙම සමාගම් ද්විත්වය සතුව පැවතීම හමුවේ, රජයේ ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව කැමැත්ත පළ කළද, දීර්ඝකාලීන උද්ධමනය හේතුවෙන් ක්ෂණික සහනයක් ලැබෙනු ඇතැයි යන්න ජනතාව තවමත් මුළුමනින්ම විශ්වාස නොකරති.
දෙකට කැඩෙන සුපිරි සැල් ගැන ඔබට මොකද හිතෙන්නෙ?

0 Comments