
2023 වසරේදී නවසීලන්තයට බලපෑ දරුණු ‘ගැබ්රියෙල්’ සුළි කුණාටුවෙන් (Cyclone Gabrielle) සියලු දේ අහිමි වූ පවුලකට නැවත නැගී සිටීමට ශක්තියක් වෙමින්, හෝක්ස් බේ (Hawke’s Bay) ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිය පැරණි දෙමහල් නිවස සම්පූර්ණයෙන්ම නොමිලේ පරිත්‍යාග කිරීමේ පුවතක් වාර්තා විය. හේස්ටින්ග්ස් හි ‘හන්ටින් ඇන්ඩ් ෆිෂින්’ (Hunting and Fishing) ව්‍යාපාරයේ හිමිකරු වන ජෙරමි හැනරේ (Jeremy Hanaray) විසින් සිදු කරන ලද මෙම උතුම් මානුෂීය ක්‍රියාව, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවට පත් ජනතාව මුහුණ දෙන අභියෝග හමුවේ ප්‍රදේශවාසීන්ගේ එකමුතුකම සහ මානුෂිකත්වය පිළිඹිබු කරන සංවේදී පුවතක් බවට පත්ව තිබේ.
තමන් සතු ඉඩමේ තිබූ වසර 80 ක් පැරණි නිවස ඉවත් කර පාරිභෝගික රථ ගාලක් ඉදිකිරීමට දිගු කලක සිට සැලසුම් කරමින් සිටි ජෙරමි හැනරේ මහතාට, පසුගියදා සිය වෙළඳසැලට පැමිණි නිත්‍ය පාරිභෝගිකයෙකු සමඟ අහම්බෙන් ඇති වූ සංවාදයකදී මෙම පවුල මුහුණ දී සිටින දැඩි නිවාස අර්බුදය පිළිබඳව දැනගැනීමට ලැබුණි. එහිදී කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක වූ ව්‍යාපාරිකයා, “ඔබට මෙම නිවස ලබාගත හැකියි” යනුවෙන් පවසමින් අදාළ නිවස එම පවුලට සම්පූර්ණයෙන්ම තෑගි කිරීමට පියවර ගත්තේය. වෙඩි බෙහෙත් මිලදී ගැනීමට පැමිණි තමන්ට සමස්ත පවුලේම නිවාස සිහිනය සබෑ කරගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව අදාළ පාරිභෝගිකයා දැඩි ලෙස සංවේගයට පත් විය.
පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වූ මෙම නිවස අලුත්වැඩියා කර වෙනත් ස්ථානයකට ගෙනයාමේ ක්‍රියාවලිය අතරතුරදී, අවාසනාවන්ත ලෙස අදාළ පවුලේ ගෘහමූලිකයා අගෝස්තු මාසයේදී මියගිය ද, ඔහුගේ පවුලේ අනාගතය වෙනුවෙන් ව්‍යාපාරිකයා ඇතුළු පිරිස එම නිවස වෙනත් ස්ථානයකට ගෙන යාමේ කටයුතු නතර කළේ නැත. ඒ අනුව පසුගියදා අදාළ නිවස එහි මුල් ස්ථානයෙන් ඉවත් කර ඕමාහු (Omāhu) ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර, එමගින් අදාළ පවුලට සුරක්ෂිත සෙවනක් හිමි වූ අතරම ව්‍යාපාරිකයාට ද සිය වෙළඳසැල සඳහා අවශ්‍ය වූ රථ ගාල ඉදිකිරීමට ඉඩකඩ වෙන්කර ගැනීමට හැකි විය. ජාතික පුවත්පත්වලින් මෙම සුළි කුණාටු ව්‍යසනය පිළිබඳ පුවත් බැහැරව ගිය ද, විපතට පත් ජනතාව වෙනුවෙන් ප්‍රදේශවාසීන් දක්වන මෙවැනි අසමසම සහයෝගය සහ කාරුණිකත්වය මුළු මහත් සමාජයටම ආදර්ශයක් බව ප්‍රදේශයේ බලධාරීන් ඇතුළු මහජනතාව සඳහන් කරති.

0 Comments