← BACKEnvironment

වඳින්න ගිය දේවාලය හිසේ කඩාවැටුණු නවසීලන්තයේ හිත හොඳ පරිසරවේදියා!

BY Dhanush•PUBLISHED OCTOBER 31, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ සුන්දර කොරමැන්ඩල් (Coromandel) වනාන්තර පද්ධතිය ආශ්‍රිත මාර්ග දෙපස නීති විරෝධී ලෙස බැහැර කර තිබූ ටොන් හතරකට ආසන්න දැවැන්ත කසළ තොගයක් තනිවම ඉවත් කළ ප්‍රකට ගවේෂකයෙකු වන බ්‍රැන්ඩෝ යෙලවිච් (Brando Yelavich) ට එරෙහිව එම කසළ ඉවත්කිරීම සඳහා ප්‍රදේශයේ නගර සභාවෙන් අධික ගාස්තුවක් අය කිරීමට පියවර ගැනීමත් සමඟ දැඩි අර්බුදයක් මතුව තිබේ. වසර 50කට වඩා පැරණි වීදුරු බෝතල්, සොරකම් කරන ලද වාහන කොටස් සහ බෑග්වල බහා දමා තිබූ මියගිය සතුන්ගේ අවශේෂ පවා පඳුරු අතර තිබී සොයාගත් මෙම 32 හැවිරිදි ක්‍රියාකාරිකයා, පරිසරය රැකගැනීමේ අරමුණින් පසුගිය මාස දෙක පුරා මෙම ශ්‍රමදායකත්වය ලබාදී තිබේ.

කෙසේ වෙතත්, තේම්ස්-කොරමැන්ඩල් දිස්ත්‍රික් සභාව (Thames-Coromandel District Council) මඟින් මීට පෙර ලබාදුන් නොමිලේ කසළ බැහැර කිරීමේ සහනය හදිසියේම අත්හිටුවා ඇති අතර, එක් කැම්පර් ට්‍රේලර් කසළ තොගයක් සඳහා ඩොලර් 800 සිට 900 දක්වා ගාස්තුවක් අය කිරීමට පියවර ගෙන ඇත. වනාන්තරයේ කදු සහ ප්‍රපාත සහිත ස්ථානවලින් කසළ එකතු කිරීමේදී සිදුවිය හැකි අනතුරු, වීදුරු, පැරණි යකඩ සහ ඇස්බැස්ටස් වැනි හිතකර නොවන ද්‍රව්‍ය නිසා මතුවන සෞඛ්‍ය හා ආරක්ෂක වගකීම් මුල් කරගනිමින් නගර සභාව මෙම තීරණය ගෙන තිබේ. රජයේ මහජන මුදල් සෘජුවම සමාජ මාධ්‍ය ඉල්ලීම් මත පදනම්ව වෙන්කළ නොහැකි බව නගර සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

නගර සභාවේ මෙම තීරණය හමුවේ යෙලවිච් පෙන්වා දෙන්නේ, තමන් සිදුකරන පරිසර හිතකාමී සේවය අගය කරනවා වෙනුවට නිලධාරීන් නීති රීති සහ බාධක ඉදිරියට දමමින් වගකීමෙන් මිදීමට උත්සාහ කරන බවයි. “ප්‍රොජෙක්ට් ගාඩියන්” (Project Guardian) නමින් සංවිධානයක් පිහිටුවමින් ප්‍රදේශවාසීන්ට ද ගෙවීම් කරමින් කසළ ඉවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ඇරඹීමට ඔහු සැලසුම් කර ඇති අතර, මෙයට ප්‍රදේශවාසීන්ගේ සහ “Keep New Zealand Beautiful” පරිසර සංවිධානයේ ද ඉහළ ඇගයීමක් හිමිව ඇත. පරිසරය සුරැකීමට කැපවෙන මෙවැනි ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් සහ රාජ්‍ය ආයතන අතර පවතින නීතිමය ගැටලු විසඳා ගැනීම කොරමැන්ඩල් හි සුන්දරත්වය ඉදිරියටත් රැකගැනීමට අත්‍යවශ්‍ය වේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *