← BACKTechnology

මස්ක්ගේ Starshield චන්ද්‍රිකා ජාලයට නවසීලන්ත හමුදාවේ අවධානය! රහස්‍ය හමුදා සන්නිවේදනය වෙනුවෙන් දැවැන්ත තීරණයක් අත ළඟ?

BY Dhanush•PUBLISHED NOVEMBER 8, 2026•1 MIN READ•0 COMMENTS

ලෝකයේ ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත වෙනසකට මඟ පාදමින්, ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිර්මාණය කළ විශේෂිත චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් වන ‘Starshield’ මිලදී ගැනීම කෙරෙහි නවසීලන්ත ආරක්ෂක හමුදාවේ (NZDF) දැඩි අවධානය යොමු වී තිබේ. සිය හමුදා මෙහෙයුම්වලදී අතිශය සංවේදී සහ රහස්‍ය තොරතුරු ආරක්ෂිතව හුවමාරු කර ගැනීමේ අරමුණින් නවසීලන්තය විසින් 2026 වසරේ ආරම්භ කරන ලද මාස හයක සාර්ථක අත්හදා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර, ඇමෙරිකාවෙන් පිටත වෙනත් රටක රජයක් මෙම පද්ධතිය පරීක්ෂා කළ බව ප්‍රසිද්ධියේ තහවුරු වූ පළමු අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.

මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය නොවැම්බර් 8 වැනිදා Radio New Zealand (RNZ) වෙත ප්‍රකාශ කර ඇත්තේ අත්හදා බැලීම් සාර්ථකව අවසන් කර ඇති බවත්, හමුදා කටයුතු සඳහා වෙනත් විකල්ප සැපයුම්කරුවෙකුගෙන් මෙවැනි සේවාවක් ලබා ගැනීමේ හැකියාව සීමිත බැවින් Starshield පද්ධතිය අතිශය ප්‍රයෝජනවත් විය හැකි බවත්ය.

ඇමෙරිකාවේ විදේශීය හමුදා විකුණුම් වැඩසටහන (Foreign Military Sales – FMS) ඔස්සේ සිදු කිරීමට යෝජිත මෙම ක්‍රියාවලිය වෙනුවෙන්, 2025 දෙසැම්බර් මාසයේදී නවසීලන්ත ආරක්ෂක අමාත්‍ය ජුඩිත් කොලින්ස් (Judith Collins) විසින් අදාළ ගිවිසුම්වලට අත්සන් තබා ඇති අතර, එමගින් සිදුවිය හැකි උපරිම මූල්‍ය අවදානම නවසීලන්ත ඩොලර් මිලියන 10 නොඉක්මවනු ඇතැයි තක්සේරු කර තිබේ. වාණිජමය සේවාවක් වන Starlink මෙන් නොව 2024දී හඳුන්වා දුන් Starshield යනු විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව, වැඩිදියුණු කළ දත්ත සංකේතනය (Encryption) සහ බුද්ධි තොරතුරු මෙහෙයුම් සඳහාම වෙන්වූ තාක්ෂණයකි.

‘Five Eyes’ බුද්ධි හවුලේ සාමාජිකයෙකු වන නවසීලන්තය, Rocket Lab හරහා තමන්ගේම අභ්‍යවකාශ තාක්ෂණය දියුණු කිරීමටත්, ඇමෙරිකානු අභ්‍යවකාශ ආරක්ෂක වැඩසටහන් සමඟ එක්ව කටයුතු කිරීමටත් පියවර ගනිමින් සිටින අතර, මෙම අතිනවීන තාක්ෂණය භාවිත කිරීමේදී පෞද්ගලික සමාගමක් මත යැපීමට සිදුවීම හේතුවෙන් මතුවිය හැකි ජාතික ආරක්ෂක අවදානම් පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *