
ලොව පුරා ගමන් බලපත්‍ර (Passports) අතරින් වඩාත්ම සතුටුදායක සහ ප්‍රීතිමත්ම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේදී නවසීලන්ත ගමන් බලපත්‍රය ලෝකයේ අටවන ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව වැනි බලවත් රටවල් පවා පසුකරමින් නවසීලන්තය මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගැනීම විශේෂත්වයකි.
ගෝලීය පුරවැසි විසඳුම් [Global Citizen Solutions] නම් සංක්‍රමණ සමාගම විසින් සම්පාදනය කරන ලද 2026 සතුටුදායක ගමන් බලපත්‍ර දර්ශකය [Happy Passports Index] යටතේ රටවල් 50ක් ඇගයීමට ලක් කර ඇති අතර, සාම්ප්‍රදායිකව වීසා රහිත සංචාරක බලයට පමණක් සීමා නොවී ජීවන තත්ත්වය, පුද්ගලික නිදහස් භාවය, සෞඛ්‍යය සහ ආරක්ෂාව, සමෘද්ධිය මෙන්ම සමස්ත යහපැවැත්ම යන සාධක පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.
මෙහිදී ලකුණු 93.2ක් ලබා ගනිමින් ෆින්ලන්තය [Finland] ලොව ප්‍රථම ස්ථානය දිනාගත් අතර, අයිස්ලන්තය [Iceland] සහ ඩෙන්මාර්කය [Denmark] පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගෙන ඇත. නෝර්වේ, ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ නෙදර්ලන්තය ඉහළම ස්ථාන අතර පසුවන අතර, ලකුණු 84.4ක් ලබාගත් නවසීලන්තය සහ සිංගප්පූරුව යුරෝපා මහාද්වීපයෙන් පිටතින් පළමු දස දෙනා අතරට ඇතුළත් වූ එකම රටවල් දෙක ලෙස වාර්තා වේ.
නවසීලන්තය ජාත්‍යන්තර සංචලතාව සඳහා ලකුණු 23.5ක්ද, දේශීය නිදහස සඳහා ලකුණු 23ක්ද, සමෘද්ධිය සහ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ලකුණු 19 බැගින්ද, යහපැවැත්ම සඳහා ලකුණු 18.8ක්ද ලබාගෙන ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්වලදී ඕස්ට්‍රේලියාව 12 වැනි ස්ථානයටත්, බ්‍රිතාන්‍යය 17 වැනි ස්ථානයටත්, අමෙරිකාව 28 වැනි ස්ථානයටත් පත්ව තිබේ. බලවත් ගමන් බලපත්‍රයක් තිබූ පමණින් ඉහළ ජීවන තෘප්තියක් නොලැබෙන බව පෙන්වා දෙන පර්යේෂකයෝ, පෘතුගාලය සහ ග්‍රීසිය වැනි රටවල බලවත් ගමන් බලපත්‍ර තිබුණද ජීවන තෘප්ති මට්ටම පහළ මට්ටමක පවතින බව පෙන්වා දෙති.
කෙසේ වෙතත්, කොස්ටාරිකාව සහ ඊශ්‍රායලය වැනි රටවල් සංචාරක අවස්ථා සීමිත වුවද ඉහළ සතුටුදායක මට්ටම් වාර්තා කර ඇති බවත්, නවසීලන්තය ලොව අටවන ප්‍රීතිමත්ම ගමන් බලපත්‍රය මෙන්ම හත්වන බලවත්ම ගමන් බලපත්‍රය ලෙස විශිෂ්ට සමබරතාවක් පෙන්වා ඇති බවත් සඳහන් වේ. ගෝලීය පුරවැසි විසඳුම් ආයතනයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ලෝරා මැඩ්රිඩ් [Dr Laura Madrid] පෙන්වා දෙන පරිදි, සැබෑ නිදහස දේශ සීමා හරහා යාමට පමණක් සීමා නොවන අතර, පුරවැසියන්ට තම රට තුළ භුක්ති විඳීමට ලැබෙන අභ්‍යන්තර නිදහස සහ අවස්ථා සමස්ත සතුට තීරණය කිරීමෙහිලා දැඩි ලෙස බලපායි.

0 Comments