
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම මැණික් වලට ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටකි. ශ්‍රී ලංකාවේත් රත්නපුර ප්‍රදේශය සුවිශාල වටිනාකමින් යුතු නගරයක් වන්නේ සුමන සමන් දෙවි අඩවියේ, ඉතාමත් අලංකාර ලොව මිල අධිකම බ්ලූ සෆායා වර්ගයේ මැණික් ඉතා බහුලව හමුවන බැවිනි. එසේම ශ්‍රී ලංකවේදී හමුවන බ්ලූ සෆායා කැරට් එකක් ගුණාත්මකභාවයට අනුකූලව වටිනාකමින් $100 සිට $20000 දක්වා වූ පරාසයක විචලනය වෙනවා.
තත්ත්වය එසේ තිබියදී මෑතකදී පැවැත්වූ ඉතාමත් අපූරු අන්දමේ අවුරුදු උත්සවයක අපූරු ආකාරයේ තරඟයක් පිළිබඳව තොරතුරු රත්නපුර දන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ තමයි මැණික් ගැරීමේ තරඟයක්.
සීමා සහිත ප්‍රදේශයක සලකුණු කරන ලද මැණික් ගල්, පතලේ අහඹු ස්ථාන වලට දමා තරඟයට ඉදිරිපත් වන පතල් කරුවන් විසින් ගරා එම මැණික් සොයා ගැනීමයි මෙහිදී ක්‍රීඩාව වුනේ. මෙහිදී වඩාත් සිත් ඇදගන්නා සුලු කාරණය වුනේ එහිදී තරඟකරුවන් විසින් සොයාගන්නා මැණික් ගල් එම තරඟකරුවාට ත්‍යාගය වශයෙන් හිමිවීමයි. ඒ හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ නියැලෙන බොහෝ පිරිසක් දැඩි උද්යෝගයෙන් මෙම තරඟය සඳහා සහබාගී වෙනු දක්නට ලැබුනා.
තරඟකරුවන් සතු වූ පාරම්පරික පතල් කර්මාන්තයේ හසල දැනුමින් සහ එකිනෙකා හා උසුලු විසුලු කරමින් පැවැත්වුණු මේ අපූරු තරඟය පුරා පැය අටක පමණ කාලයකින් පසුව සියලු මැනික් ගල් සොයාගැනීමෙන් අනතුරුව අවසන් වෙද්දී තරඟ වැදුනු එක් තරඟකරුවෙකු විසින් මැණික් ගල් දෙකක් සොයාගෙන තිබීමද විශේෂත්වයක් වුනා.
ප්‍රධාන මාධ්‍යන්හි අවධානයක් නොලැබුනත් මෙම අවුරුදු උත්සවය සහ මෙම අපූරු ක්‍රීඩාව දෙවැනි වතාවටද සංවිධානය කර තිබුනේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි කීර්තිමත් ව්‍යාපාරිකයෙක් විසින්.

0 Comments