
නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් (Queenstown) නගරයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුට තමන් කළ පුංචි අත්වැරැද්දක් නිසා ජීවිත කාලයටම මතකහිටින් දඬුවමකට මුහුණ දීමට සිදු විය. ජොන්ටි පාර්ක්ස් (Jonty Parkes) නමැති මෙම තරුණයා පසුගිය මාර්තු මාසයේ දිනක මිතුරන් සමඟ මත්පැන් පානය කර සිටියදී, තමන් නවතා තිබූ මෝටර් රථයට “පාර්කින් දඩයක්” (Parking fine) වදියි යන බියෙන් එය මීටර් 10ක් පමණ ඉදිරියට ගැනීමට උත්සාහ කර තිබේ. නමුත් ඒ මොහොතේම ක්රියාත්මක වූ පොලිසිය ඔහු පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඔහු නියමිත ප්රමාණයට වඩා මත්පැන් පානය කර රිය පදවා ඇති බවයි.
නවසීලන්ත නීතියට අනුව වයස අවුරුදු 20ට අඩු රියදුරන් සඳහා මත්පැන් පානය කර රිය පැදවීම සම්පූර්ණයෙන්ම තහනම් (Zero limit) වුවද, මොහුගේ පරීක්ෂණ වාර්තාවල දැක්වුණේ සිරුරේ මත්පැන් ප්රමාණය ඉතා ඉහළ මට්ටමක තිබූ බවයි. තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයාට නිවස බලා රිය පැදවීමේ කිසිදු අදහසක් නොතිබූ බවත්, ඔහු කළේ දඩයෙන් බේරීමට රථය මීටර් කිහිපයක් එහා මෙහා කිරීම පමණක් බවත්ය. නමුත් විනිසුරුවරයා ප්රකාශ කළේ රිය පැදවූ දුර ප්රමාණය කුමක් වුවත්, බීමතින් රිය පැදවීම අනතුරුදායක බවයි.
අවසානයේදී මෙම තරුණයාට රුපියල් ලක්ෂ දෙකකට අධික දඩයක් ගෙවීමට සිදු වූ අතර, ඔහුගේ රියදුරු බලපත්රය මාස 6ක කාලයකට තහනම් කිරීමටද අධිකරණය නියෝග කළේය. සුළු මුදලක දඩයකින් බේරීමට ගොස් තම රියදුරු බලපත්රය මෙන්ම පිරිසිදු චරිත සහතිකය ද අහිමි කරගත් මෙම සිදුවීම, ඕනෑම රටක වෙසෙන තරුණ රියදුරන්ට කදිම පාඩමකි. මත්පැන් පානය කළ පසු රියදුරු අසුනට ගොඩවීම කොතරම් අවදානම් සහගතද යන්න මෙයින් මනාව පැහැදිලි වේ.

0 Comments