
📍 නවසීලන්තයේ වෙලින්ටන් නුවර පදිංචි කීත් මිලර් නමැති පුද්ගලයෙකුට, ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත AI කැමරා මගින් වැරදි ලෙස දෙවරක්ම දඩ පනවා තිබේ. තමන් කිසිදු වරදක් නොකර මෙලෙස දඩ පැනවීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට වාණිජ කොමිසම වෙත පැමිණිලි කර ඇත.
📍 සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ මිරාමාර් හි New World සුපිරි වෙළඳසැලේ රථ ගාලට ඔහු සහ ඔහුගේ බිරිඳ අවස්ථා දෙකකදී විනාඩි 15 බැගින් වූ කෙටි සංචාර දෙකක් සිදු කර ඇති බවයි. නමුත් එහි ඇති AI කැමරා පද්ධතිය මෙම අවස්ථා දෙක එකම සංචාරයක් ලෙස සලකා, ඔහු පැය කිහිපයක් එහි රථය නතර කර තිබූ බවට දෝෂ සහිත තොරතුරු ලබා දී තිබේ.
📍 කීත් මිලර් පවසන්නේ තමන් සතු රිසිට්පත් සහ නිවසේ ආරක්ෂක කැමරා දර්ශන මගින් තමන් නිවැරදි බව ඔප්පු කළ පසු එම දඩ මුදල් අවලංගු කළ බවයි. නමුත් මෙවැනි තාක්ෂණික දෝෂ නිසා තවත් බොහෝ අහිංසක පිරිසක් අසාධාරණ ලෙස දඩ මුදල් ගෙවීමට සිදුවන බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
📍 වාණිජ කොමිසම පවසන්නේ පසුගිය මාස හය තුළ වාහන නැවැත්වීමේ පද්ධති සම්බන්ධයෙන් පැමිණිලි 250ක් ලැබී ඇති අතර, ඉන් 17ක්ම මෙවැනි ANPR තාක්ෂණයේ දෝෂ පිළිබඳව බවයි. මෙලෙස වැරදි දත්ත මත පදනම්ව දඩ පැනවීම ‘සාධාරණ වෙළඳ පනත’ උල්ලංඝනය කිරීමක් දැයි කොමිසම මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
📍 පුවත් වාර්තාවලට අනුව, මීට පෙරද කාන්තාවක විසින් වාහනය හැරවීම සඳහා පමණක් භාවිතා කළ රථ ගාලක රථය නතර කළ බවට පවසා මෙලෙසම අසාධාරණ ලෙස දඩ පනවා තිබුණි. මෙම සිදුවීමත් සමඟ නවසීලන්තයේ භාවිතා වන AI රථගාල් පාලන පද්ධතිවල විශ්වසනීයත්වය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

0 Comments