← BACKUncategorized

ඔටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන 5 හැවිරිදි දරුවෙකු නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්!

BY Dhanush•PUBLISHED MAY 20, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන විදේශීය යුවළකගේ 5 හැවිරිදි ඔටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන දරුවෙකුව මෙරටින් පිටුවහල් කිරීමට නවසීලන්ත ආගමන විගමන අංශය (Immigration New Zealand) තීරණය කිරීමත් සමඟ, ඊට එරෙහිව එරට ජනතාව දහස් ගණනින් අත්සන් තැබූ පෙත්සම් ඉදිරිපත් කරමින් දැවැන්ත විරෝධතාවල නිරත වෙමින් සිටිති.

Aidhan Nithin නම් මෙම කුඩා දරුවාගේ දෙමාපියන් වන නිතින් මන්කීල් සහ අපර්ණා ජයන්තන්, Nelson ප්‍රදේශයේ සේවය කරන අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවකයන් වේ. පියා වන නිතින්, නවසීලන්තයේ ඉහළ ඉල්ලුමක් ඇති Green List හි සිටින හෙද නිලධාරියෙකු වන බැවින් දෙමාපියන් දෙදෙනාට මෙරට ස්ථිර පදිංචිය හිමි වී ඇත.

කෙසේ වෙතත්, නවසීලන්තයේ පවතින දැඩි සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුව, දරුවාගේ ඔටිසම් තත්ත්වය හේතුවෙන් රජයේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව පවසමින් ආගමන විගමන බලධාරීන් දරුවාගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් මේ වන විට එම දරුවා නවසීලන්තය තුළ “නීතිවිරෝධී” තත්ත්වයට පත්ව ඇති අතර ඔහුව රටින් පිටුවහල් කිරීමේ අවදානමක් මතුව තිබේ.

“මගේ දරුවා රටින් පිටුවහල් කරනවා කියන්නේ මගේ අතක් කපා දමනවා වගේ වැඩක්. ඉන්දියාවේ ඉන්න අපේ වයස්ගත දෙමාපියන්ට මේ දරුවාව බලාගන්න බැහැ. මේක අපේ පවුල සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක්,” යැයි දරුවාගේ පියා සංවේගයෙන් ප්‍රකාශ කර සිටී.

මෙම අසාධාරණ තීරණයට එරෙහිව නෙල්සන් නුවර වැසියන් වීදි බැස විරෝධතා පවත්වා ඇති අතර, දරුවාට මෙරට රැඳී සිටීමට අවසර දෙන ලෙසත්, ආබාධිත පුද්ගලයන් කොන් කරන නවසීලන්තයේ පවතින සෞඛ්‍ය ප්‍රතිපත්ති (ASH requirements) වහාම සංශෝධනය කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තුව වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත.

මේ වන විට ආගමන විගමන අමාත්‍යවරයා මෙම සිදුවීමට සෘජුව මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇති නමුත්, දරුවාට මානුෂීය පදනමක් මත තාවකාලික වීසා බලපත්‍රයක් ලබා දීම සඳහා පවුලේ නීතිඥයන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ ඉල්ලීමක් (Section 61 request) සලකා බලමින් පවතින බව බලධාරීන් පවසා තිබේ. තමන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍ය සේවකයෙකුගේ පවුල රැකගැනීම වෙනුවෙන් සමස්ත නවසීලන්ත වැසියන් මේ වන විට මෙම දරුවා වෙනුවෙන් හඬ නගමින් සිටිති.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *