
2026 වසරේ බ්‍රිතාන්‍ය රජුගේ උපන් දින උපහාර ලැයිස්තුව (King’s Birthday Honours List) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙවර නවසීලන්තයේ සමස්ත ජාතික අභිමානය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ පුද්ගලයන් 178 දෙනෙකු අතරට ශ්‍රී ලාංකීය නාමයක් ද ඇතුළත් වී තිබේ. ඒ අනුව, නවසීලන්තයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය වෛද්‍යවරියක වන ආචාර්ය උදයාංගනී සමරක්කොඩි (Dr. Udayangani Samarakkody) මහත්මිය මෙවර “නවසීලන්ත සාමාජික අභිෂේකය” (MNZM – Member of the New Zealand Order of Merit) යන ඉහළම රාජකීය ගෞරව පදවියෙන් පිදුම් ලබා ඇත.
නවසීලන්තයේ පදිංචි වෛද්‍ය උදයාංගනී මහත්මිය වෙත මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ ඇය විසින් ළමා ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට (Paediatric Surgery) සිදු කරන ලද සුවිශේෂී වෘත්තීය දායකත්වය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් දක්වන ලද අමිල සමාජ මෙහෙවර ඇගයීමට ලක් කරමිනි.
මෙවර රජුගේ උපන් දින උපහාර ලැයිස්තුවට කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමින් 95 දෙනෙකු ඇතුළත් වූ අතර, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන ඩේම් සුසෑන් හැසල්, සර් පීටර් බොෂියර් මෙන්ම හිටපු ලෝක තැටි විසි කිරීමේ ශූරී බියට්‍රිස් ෆවුමුයිනා සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා සුසී බේට්ස් වැනි ලෝක පූජිත තරු සමඟින් ශ්‍රී ලාංකීය වෛද්‍යවරියක ද මෙලෙස එකම වේදිකාවක රාජකීය ඇගයීමට ලක්වීම සමස්ත ලාංකීය ප්‍රජාවටම ඉමහත් ආඩම්බරයකි.
නවසීලන්ත අග්‍රාමාත්‍ය Christopher Luxon මහතා සියලුම සම්මානලාභීන්ට උපහාර දක්වමින් ප්‍රකාශ කළේ, මොවුන්ගේ සේවය සහ කැපවීම නවසීලන්තය වඩාත් ශක්තිමත් සහ යහපත් රටක් බවට පත් කිරීමට මහෝපකාරී වූ බවයි. මෙම සියලුම විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනමන රාජකීය පදවි ප්‍රදානෝත්සවය මේ වසරේ අගභාගයේදී රාජ්‍ය මන්දිරයේදී (Government House) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
නවසීලන්ත ප්‍රජාව වෙනුවෙන් අමිල සේවයක් ඉටුකළ වෛද්‍ය උදයාංගනී සමරක්කොඩි මහත්මියට ලක්කිවි අපගේ උණුසුම් සුභ පැතුම්! 💐🇳🇿🇱🇰

0 Comments