← BACKCrime

ඕක්ලන්ඩ් කුලී රථ රියදුරා උපරිම සීමාව මෙන් 6 ගුණයක් බීලා!

BY DhanushPUBLISHED JUNE 19, 20261 MIN READ0 COMMENTS

තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගේ ජීවිත දැඩි අවදානමක හෙළමින්, උපරිම නීතිමය සීමාව මෙන් 6 ගුණයකට වඩා බීමතින් මගී ප්‍රවාහන වෑන් රථයක් ධාවනය කළ වෘත්තීය රියදුරෙකු නවසීලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඕක්ලන්ඩ් නුවර දක්ෂිණ-බටහිර අධිවේගී මාර්ගයේ (SH20) උතුරු දෙසට ධාවනය වූ කුලී රථයක රියදුරෙකුට සුක්කානම මතම නින්ද යන බව දුටු වෙනත් සංවේදී රියදුරෙක් වහාම ක්‍රියාත්මක වී පොලිසියට මේ බව දැනුම් දී තිබෙනවා. එම අවස්ථාවේදී මෙම කුලී රථය මාර්ගයේ ගමන් කළ අනෙකුත් වාහන කිහිපයකම ගැටීමට ගොස් අනූනමයෙන් බේරී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසියට ඇමතුම ලබා දුන් පුද්ගලයා අනෙක් රියදුරන් දැනුවත් කිරීම සඳහා තමන්ගේ වාහනයේ හදිසි සංඥා ලාම්පු (Hazard Lights) දල්වමින් කුලී රථය පිටුපසින්ම ධාවනය කර තිබීම විශේෂත්වයක්. පසුව වෑන් රථය වෝටර්වීව් උමං මාර්ගය ආසන්නයේදී වේගය අඩු වැඩි කරමින් අන්තරායකර ලෙස ධාවනය වෙද්දී, මවුන්ට් ඇල්බට් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් එය නවත්වනු ලැබුවා. 

🔴 සීමාව පැන පදවා උසාවියට.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි රියදුරා මධ්‍යසාර පරීක්ෂණයකට (Breath Alcohol Test) භාජනය කළ අතර, එහිදී ඔහු නවසීලන්තයේ නීතිමය සීමාව වන මයික්‍රෝග්‍රෑම් 250 මෙන් හය ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් (මයික්‍රෝග්‍රෑම් 1500කට වඩා වැඩි) මධ්‍යසාර සිරුර තුළ රඳවාගෙන සිට ඇති බව හෙළි වුණා.

“වෘත්තීය රියදුරෙක් මේ ආකාරයට බීමතින් මගීන් ප්‍රවාහනය කිරීම අතිශය භයානකයි. නියමිත වේලාවට මොහුව නතර කරගන්න බැරි වුණා නම් සිදුවන විනාශය හිතාගන්නවත් බෑ.”
— ජ්‍යෙෂ්ඨ සර්ජන්ට් බිල් රසල් (Auckland Motorways)

මෙම වගකීම් විරහිත රියදුරාට එරෙහිව මගී ප්‍රවාහන සේවා රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ අධික ලෙස බීමතින් රිය පැදවීම යටතේ නඩු පවරා ඇති අතර, ලබන සඳුදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *