
නවසීලන්ත කෘෂිකාර්මික ක්ෂේත්රයේ පිරිනමනු ලබන වඩාත්ම කීර්තිමත් සම්මානයක් වන නැගී එන නායිකාව සඳහා වන සම්මානය (Emerging Leader Award) මෙවර දිනා ගැනීමට වයිකාටෝ ප්‍රදේශයේ 29 හැවිරිදි කිරි ගොවිපළ හිමිකාරිනියක වන Danielle Hovmand සමත්ව තිබේ. ඕක්ලන්ඩ් නුවර පැවැති 8 වැනි වාර්ෂික ප්‍රාථමික කර්මාන්ත සම්මාන උළෙලේදී (PINZ Awards) ඇය මෙම සුවිශේෂී ඇගයීමට ලක් විය.
ලින්කන් විශ්වවිද්‍යාලය විසින් අනුග්‍රහය දක්වන ලද මෙම සම්මානය සඳහා Fonterra ආයතනයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රබල තරඟකරුවන් රැසක් නිර්දේශ වී සිටි අතර, ඔවුන් සියල්ලන්ම අභිබවා යමින් ඩැනියෙල් මෙම ජයග්‍රහණය අත්කර ගත්තාය. ඇය Morrinsville ප්‍රදේශයේ සිය සහකරු සමඟ එළදෙනන් 250කගෙන් යුත් කිරි ගොවිපළක් පවත්වාගෙන යනු ලබයි.
ඩැනියෙල් හොව්මන්ඩ් යනු හුදෙක් ගොවිපළක වැඩ කරන කාන්තාවක පමණක් නොවේ. ඇය Federated Farmers Waikato සංවිධානයේ සභාපතිනිය ලෙස තරුණ ගොවීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල හඬකි. නවක තරුණ ගොවීන්ට තමන්ගේම කිරි පට්ටියක් හෝ ගොවිපළක් මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ KiwiSaver අරමුදල් පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා දියත් කළ සාර්ථක ව්‍යාපාරයේ ප්‍රධානතම නියමුවරිය වූයේද ඇයයි. ඇයගේ එම සටන හේතුවෙන් මේ වසරේ මුලදී නවසීලන්ත රජය සිය ප්‍රතිපත්ති පවා වෙනස් කිරීමට පියවර ගත්තේය.
“ඩැනී කියන්නේ දක්ෂ ගොවියෙක් විතරක් නෙවෙයි, අපේ කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් නිර්භීතව අදහස් දක්වන නායිකාවක්,” යැයි ෆෙඩරේටඩ් ෆාමර්ස් කිරි නිෂ්පාදන අංශයේ සභාපති කාල් ඩීන් පවසයි.
ඇයගේ නායකත්වයෙන් ප්‍රදේශයේ පුණ්‍යායතන සඳහා විශාල මුදලක් පරිත්‍යාග කර ඇති අතර, පාසල් දරුවන් කෘෂිකාර්මික ක්ෂේත්රය වෙත යොමු කිරීමටද ඇය ස්වේච්ඡාවෙන් කටයුතු කරයි. තමන් ලැබූ මෙම ජයග්‍රහණය තමන්ට ශක්තියක් වූ සමස්ත කෘෂිකාර්මික ප්‍රජාවටම අයිති බව ඩැනියෙල් නිහතමානීව ප්‍රකාශ කළාය.
ඩැනීගේ වටිනා සේවය අගය කරමින් අපිත් ඇය වෙනුවෙන් සුභපැතුම් එක්කරමු! 🫡💐

0 Comments