
නවසීලන්තය පුරා මේ වන විට ක්‍රියාත්මක වන ඉතා බලවත් ශීත සෘතු කුණාටු තත්ත්වයක් හේතුවෙන් එරට දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබේ. පැයට කිලෝමීටර් 130 ක් දක්වා වේගයෙන් හමා යන චණ්ඩ මාරුත, මහා වර්ෂාව සහ ශීඝ්‍රයෙන් පහත වැටෙන උෂ්ණත්වය හේතුවෙන් දකුණු සහ මධ්‍යම නවසීලන්ත කලාප රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
විශේෂයෙන්ම අගනුවර වන Wellington වෙත මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අධික සුළං තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට එරට ගුවන් සේවා කටයුතු කර ඇත. මහා වර්ෂාව නිසා ඇති වූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ප්‍රධාන මහා මාර්ග රැසක් වසා දමා ඇති අතර, විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් දහස් සංඛ්‍යාත නිවාසවල විදුලි බලය ඇණහිට තිබේ.
මේ අතර, පවතින දරුණු කාලගුණයත් සමඟ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 ක් දක්වා පහත වැටී ඇති අතර උස් කඳුකර ප්‍රදේශවලට සෙන්ටිමීටර ගණනින් අධික හිම පතනයක් සිදුවෙමින් පවතී. අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත්, ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් එරට හදිසි අනතුරු අංශ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (MetService) ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

0 Comments