← BACKUncategorized

සුළුදිය නිසා ඇතිවුන ඇබැද්දිය!

BY Dhanush•PUBLISHED JULY 4, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ රැකියා සම්බන්ධ සබඳතා අධිකාරිය (Employment Relations Authority – ERA) මගින් මෑතකදී විභාග කරන ලද අමුතුම ආකාරයේ නඩුවකින්, අධික ලෙස බීමත්ව ආයතනික නීති රීති උල්ලංඝනය කළ සේවකයෙකු ඉවත් කිරීමට ආයතනය ගත් තීරණය සාධාරණ බව තීන්දු කර තිබේ.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සිවිල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කළ සේවකයෙකි. දිනක් වැඩ මුරය අවසානයේ ආයතනයට අයත් වාහනයකින් වෙනත් සේවකයෙකු සමඟ ගමන් කරමින් සිටියදී මොහු අධික ලෙස මත්පැන් පානය කර ඇත. මත්පැන් මහිමයෙන් හොදටම වෙරි වූ මෙම සේවකයා, වාහනය වේගයෙන් ධාවනය වෙමින් තිබියදීම එහි ඉදිරිපස මගී අසුනේ දොර හැර, ඉන් පිටතට මුත්‍රා කිරීමට උත්සාහ කර තිබේ.

මෙම අතිශය අනතුරුදායක ක්‍රියාව නිසා ඔහු වාහනයෙන් පිටතට ඇද වැටීමට මෙන්ම බරපතල අනතුරක් වීමටද ලොකු ඉඩකඩක් පැවතුණි. වාහනය පදවාගෙන ගිය අනෙක් සේවකයා වහාම ක්‍රියාත්මක වී ඔහුව ඇදගෙන දොර වසා දැමීමට කටයුතු කර ඇත.

මෙම බරපතල විනය කඩකිරීම සහ ආයතනික කීර්ති නාමයට හානි කිරීම හේතුවෙන් අදාළ ආයතනය විසින් ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි රැකියාවෙන් නෙරපා හරින ලදී. කෙසේ වෙතත්, තමන්ව රැකියාවෙන් ඉවත් කිරීම අසාධාරණ බව පවසමින් සේවකයා ERA ආයතනය වෙත ගොස් තිබුණි.

නමුත් නඩුව විභාග කළ අධිකාරිය ප්‍රකාශ කළේ, සේවකයාගේ මෙම ක්‍රියාව තමන්ගේ පමණක් නොව මඟතොට යන අනෙකුත් ජනතාවගේද ජීවිත අවදානමට ලක් කරන්නක් බවයි. එමෙන්ම අධික ලෙස බීමත්ව සේවා වාහන තුළ මෙවැනි හැසිරීම් කිසිසේත් අනුමත කළ නොහැකි බැවින්, ආයතනය විසින් ඔහුව රක්ෂාවෙන් නෙරපා හැරීම සම්පූර්ණයෙන්ම නිවැරදි සහ සාධාරණ පියවරක් බව ERA ආයතනය අවධාරණය කළේය.

බොනව නම් මුත්‍රා කරන තැන හොයාගන්න පුළුවන් වෙන ගානට බොන්න! 🍻

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *