← BACKEconomy

නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් අතර පවතින ආර්ථික පරතරය වසර ගණනාවක් පැවතිය හැකි බවට ආර්ථික විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීම්!

BY Dhanush•PUBLISHED JULY 18, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ උතුරු දූපත (North Island) සහ දකුණු දූපත (South Island) අතර පවතින ආර්ථික වර්ධනයේ අසමතුලිතතාවය හෙවත් ආර්ථික පරතරය තවත් වසර කිහිපයකට පවතිනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ. ආර්ථික උපදේශන ආයතනයක් වන Infometrics හි නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස රටේ විවිධ කලාප ආර්ථික වාසි අත්කර ගනිමින් සිටියද, දකුණු දූපතේ මැද සහ පහළ ප්‍රදේශ උතුරු දූපතට වඩා ඉතා වේගයෙන් ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් සහ මහ බැංකු බලධාරීන් විසින් හඳුන්වනු ලබන්නේ “වේග දෙකක ආර්ථිකයක්” ලෙසයි. එනම් එකම රටක් තුළ කලාප දෙකක් එකිනෙකට වෙනස් වේගයකින් වර්ධනය වීමයි.

Infometrics හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නික් බ්‍රන්ස්ඩන් (Nick Brunsdon) ප්‍රකාශ කරන පරිදි, දකුණු දූපතේ මෙම ශීඝ්‍ර දියුණුවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික හා අපනයන අංශවලින් ලැබෙන ඉහළ ආදායමයි. විශේෂයෙන්ම කිරි නිෂ්පාදන, හරක් මස්, බැටළු මස් මෙන්ම කිවි ෆෘට් සහ ඇපල් වැනි පළතුරු අපනයන මඟින් දකුණු දූපතේ ගොවීන්ට ඉහළ ආදායමක් ලැබී ඇත.

ඊට සාපේක්ෂව, උතුරු දූපතේ ප්‍රධාන නගරවල ආර්ථිකය මන්දගාමී වී තිබේ. ඊට හේතුව වී ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින අභියෝග, අඩු ජනගහන වර්ධන වේගය සහ රැකියා අහිමිවීම් ඉහළ යාමයි. සාමාන්‍යයෙන් විශාල නගරවල ආර්ථිකය උත්තේජනය කිරීමට විදේශීය සංක්‍රමණිකයන්ගේ පැමිණීම සහ නිවාස මිලදී ගැනීම් ඉවහල් වුවද, දැනට පවතින මන්දගාමී ජනගහන වර්ධනය උතුරු දූපතට දැඩි ලෙස බලපා ඇත. ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙම තත්ත්වය හමුවේ රටේ පොදු පාරිභෝගිකයන්ගේ වියදම් කිරීමේ හැකියාව තවදුරටත් දුර්වල මට්ටමක පවතිනු ඇති බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *