
නවසීලන්තයේ පදිංචි වී සිටින විදේශිකයන්ට තම දෙමාපියන් ගෙන්වා ගැනීම සඳහා ඇති වීසා බලපත්‍ර සඳහා පවතින අධික ඉල්ලුම සහ ඊට අදාළ සීමාවන් පිළිබඳ තොරතුරු මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව (Immigration New Zealand) විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාදේඛන මගින් අනාවරණය වී තිබේ. මෙරට පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට තම දෙමාපියන් සමඟ කාලය ගත කිරීමට ප්‍රධාන වීසා ක්‍රම දෙකක් හිමිවන අතර, ඒ අතුරින් පූර්ණ කාලීනව පදිංචි වීමට අවස්ථාව සලසන ‘දෙමාපිය නේවාසික වීසා’ (Parent Resident Visa) කාණ්ඩය සඳහා පනවා ඇති වාර්ෂික සීමාවන් හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් තවමත් බලාපොරොත්තු ලැයිස්තුවේ පසුවෙති.
දෙමාපිය නේවාසික වීසා ක්‍රමය යටතේ වසරකට අනුමැතිය ලබාදිය හැක්කේ වීසා 2,500 කට පමණක් වන අතර, 2026 ජූනි 30 වනදායින් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා එම සම්පූර්ණ වීසා ප්‍රමාණයම අනුමත කර අවසන් කර ඇත. මීට පෙර පැවැති පැරණි ක්‍රමය යටතේ අයදුම් කළ පිරිස් සහ අලුතින් කුසපත් ඇදීමේ ක්‍රමය (ballot pool) මගින් තේරී පත් වූ පිරිස් පදනම් කරගනිමින් මෙම වීසා නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, 2026 ජූනි මස අග වන විටත් මෙම නේවාසික වීසා අභිප්‍රාය ප්‍රකාශන (Expressions of Interest) 8,613 ක් ඉදිරිපත් වී තිබූ අතර, ඒ හරහා පුද්ගලයන් 12,970 දෙනෙකු ඉදිරියේදී පැවැත්වෙන කුසපත් ඇදීම් තුළින් තේරී පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.
ස්ථිර පදිංචිය ලබා නොදෙමින්, වසර පහක් දක්වා කාලයකට දීර්ඝ කාලීනව රැඳී සිටීමට අවස්ථාව සලසන ‘දෙමාපිය බූස්ට් සංචාරක වීසා’ (Parent Boost Visitor Visa) ක්‍රමයද පවුල් සෙසු සාමාජිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව පෙනී යයි. පසුව තවත් වසර පහකට දීර්ඝ කරමින් උපරිම වසර 10 ක් දක්වා නවසීලන්තයේ රැඳී සිටීමට අවස්ථාව දෙන මෙම වීසා බලපත්‍රය සඳහා 2026 පෙබරවාරි 2 වනදා වන විට අයදුම්පත් 708 ක් ලැබී තිබූ අතර, ඉන් අයදුම්පත් 230 කට පූර්ණ අනුමැතියත්, තවත් අයදුම්පත් 108 කට රක්ෂණ කොන්දේසි සපිරීමට යටත්ව මූලික අනුමැතියත් හිමිවී තිබේ.
මෙම කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍රය ලබාගැනීම සඳහා නවසීලන්තයෙන් පිටත සිට අයදුම් කළ යුතු අතර, මෙරට වසන දරුවා විසින් අනුග්‍රාහකත්වය දැක්වීම, සෞඛ්‍ය සහ චරිත සහතික ඉදිරිපත් කිරීම මෙන්ම පූර්ණ වෛද්‍ය රක්ෂණාවරණයක් පවත්වාගෙන යාම අනිවාර්ය වේ. ස්ථිර නේවාසික වීසා සඳහා විශාල කාලයක් බලා සිටීමට සිදුවුවද, මෙවැනි විකල්ප සංචාරක වීසා මගින් විදේශගත පවුල්වලට සිය දෙමාපියන් සමඟ එක්ව කාලය ගත කිරීමට හිමිවන නම්‍යශීලී අවස්ථාවන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ.

0 Comments