
නවසීලන්තයේ ඩෙස්ටිනි චර්ච් (Destiny Church) හි නායක බ්‍රයන් ටමාකි (Brian Tamaki) විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද විවාදාත්මක වීඩියෝවක් සම්බන්ධයෙන් එරට පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
“දෙවියන්ගේ පහරදීම් ලැයිස්තුව” (Heaven’s hitlist) ලෙස නම් කරමින් ප්‍රසිද්ධ චරිත, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඉලක්ක කර ගනිමින් නිකුත් කර ඇති මෙම වීඩියෝව හරහා අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කිරීම් සහ බිය ගැන්වීම් සිදුවන බවට චෝදනා එල්ල වී ඇත. අදාළ වීඩියෝව මගින් කිසියම් අපරාධමය වරදක් හෝ හානිකර ඩිජිටල් සන්නිවේදන පනත (Harmful Digital Communications Act) උල්ලංඝනය වී ඇත්දැයි පරීක්ෂා කරන බව නවසීලන්ත පොලිස් ප්‍රකාශකවරයා තහවුරු කර තිබේ.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවතියද, මහජන ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් වන ආකාරයට හැසිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව පවසන පොලීසිය, මේ වන විට අදාළ වීඩියෝවේ නීතිමය පසුබිම පරීක්ෂා කරමින් සිටියි. මීට පෙරද අවසර නොලැබුණු විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය පියවරවලට මුහුණ දී සිටින බ්‍රයන් ටමාකිගේ මෙම ක්‍රියාව සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, මෙවැනි ලැයිස්තු හරහා අදාළ පුද්ගලයන්ට එරෙහිව පහරදීම් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති. මෙම පරීක්ෂණයෙන් අනතුරුව බ්‍රයන් ටමාකිට එරෙහිව විධිමත් ලෙස නඩු පැවරීමට නියමිත අතර, අදාළ වීඩියෝව නිසා යම් තර්ජනයක් එල්ල වී ඇත්නම් ඒ පිළිබඳව වහාම වාර්තා කරන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

0 Comments