
පැසිෆික් සාගරයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රබල “එල් නිනෝ” (El Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙවර ග්‍රීෂ්ම ඍතුවේදී උෂ්ණත්වය නොසිතූ ලෙස එකවරම ඉහළ යා හැකි අතර, ඒ සඳහා පූර්ව සූදානමක් නොමැති වුවහොත් ජන ජීවිත පවා අහිමි විය හැකි බවට නවසීලන්ත සෞඛ්‍ය හා කාලගුණ බලධාරීන් දැඩි ලෙස අනතුරු අඟවයි. නවසීලන්ත ආපදා කළමනාකරණ නියෝජිතායතනය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ, පසුගිය ජූලි මාසයේ සිට වාර්තා වූ දත්ත අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉතිහාසයේ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වයන්ගෙන් එකක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
ඕස්ට්‍රේලියාව වැනි රටවලට දීර්ඝකාලීන දැඩි රශ්මියක් ගෙන ආවද, නවසීලන්තයට මෙමගින් සිදුවන්නේ දින දෙක තුනක් ඇතුළත උෂ්ණත්වය එකවරම අධික ලෙස ඉහළ ගොස් නැවත පහළ බැසීම වැනි හදිසි “උෂ්ණත්ව තරංග” (spiky temperatures) ඇති වීමයි. සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ අධික රශ්මිය යනු “නිහඬ මිනීමරුවෙකු” බවත්, හදිසියේ මතුවන මෙවැනි අධික රශ්මියට ඔරොත්තු දීමට ශරීරය සහ නිවාස යටිතල පහසුකම් සූදානම් කර නොමැති වීම නිසා ජනතාව නොසිතන ලෙස දැඩි ලෙස රෝගී විය හැකි බවත්ය.
විශේෂයෙන්ම වායුසමීකරණ යන්ත්‍ර භාවිත කිරීමට තරම් ආර්ථික හැකියාවක් නැති අඩු ආදායම්ලාභීන්, කුලී නිවැසියන්, කුඩා දරුවන්, ගර්භණී මාතාවන් සහ වීදිවල වසන නිවාස අහිමි ජනතාව මෙම රශ්මිය හමුවේ දැඩි අවදානමකට ලක්වේ. මීට අමතරව අධික වියළි සුළං සහ වර්ෂාව අඩුවීම නිසා ලැව්ගිනි සහ දැඩි නියං තත්ත්වයන් ද වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින්, රෝගීන් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් වන ලෙසත් ශරීරය සිසිල්ව තබා ගැනීමට පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

0 Comments