
සති දෙකක කෙටි දැනුම්දීමකින් පසුව තමන්ගේ නිවාස ඉදිරිපිට මාර්ගවල සතියේ දින හතේම ක්‍රියාත්මක වන පරිදි වාහන නැවැත්වීමේදී ගාස්තු අය කරන නීතියක් (paid parking) හඳුන්වා දීමට හට් නගර සභාව (Hutt City Council) පියවර ගැනීමත් සමඟ නවසීලන්තයේ ලෝවර් හට් (Lower Hutt) හි ප්‍රදේශවාසීහු දැඩි කෝපයට පත්ව සිටිති.
ජූලි 20 වැනි දින නිකුත් කළ නගර සභා නිවේදනයකට අනුව අගෝස්තු 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Myrtle St, Woburn Rd, High St, Laings Rd, Bloomfield Tce, Downer St, Melling Rd, Rutherford St යන නවාසික මාර්ග අටක කොටස්වල මෙතෙක් පැවති නොමිලේ හෝ වේලාවට සීමා වූ වාහන නැවැත්වීමේ ඉඩකඩ සති අන්තය ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැයකට ඩොලර් 3 ක් සහ දිනකට උපරිමය ඩොලර් 12 ක් වන පරිදි ගාස්තු අය කරන ස්ථාන බවට පත්කර ඇත.
ගංවතුරෙන් ආරක්ෂා වීම, ප්‍රවාහන හා නගර මධ්‍යස්ථාන නැවත සංවර්ධනය කිරීමේ ‘ටේ වායි ටකාමොරි ඕ ටේ අවා කයිරංගි’ (Te Wai Takamori o Te Awa Kairangi – RiverLink) ව්‍යාපෘතිය හේතුවෙන් රිවර්බෑන්ක් වාහන නැවැත්වීමේ සංකීර්ණය (Riverbank Car Park) ඉදිරියේදී වසා දැමීමට සිදුවන බැවින් ඊට විකල්පයක් ලෙස මෙම පියවර ගත් බව නගර සභාව පවසයි.
කෙසේ වෙතත්, මෙම තීරණය ගැන තමන්ගෙන් නිසි පරිදි විමසීමක් නොකළ බව පවසන ප්‍රදේශවාසීන්, ප්‍රමාණවත් පෞද්ගලික ඉඩකඩක් නොමැති නිවෙස්වල වැසියන් දැඩි අසනරණතාවයට පත්ව ඇති බවත්, මුදල් ගෙවීම මඟහැරීමට රියදුරන් වෙනත් ස්ථානවල වාහන නැවැත්වීම නිසා මේ වන විට මෙම මාර්ග පාළුවට ගොස් ඇති බවත් පෙන්වා දෙති. තමන්ගේම ගෙදර ඉස්සරහ වාහනය නවත්වා ගැනීමට නොහැකිව අසල්වැසියන්ගේ ඉඩම්වල වාහන නැවැත්වීමට සිදුව ඇති බව ලුයිස් ඩේ නම් ප්‍රදේශවාසී කාන්තාව සඳහන් කළ අතර, ඇයගේ 80 හැවිරිදි පියාට පවා සිය වාහනය අසල්වැසියෙකුගේ ඉඩමක නැවැත්වීමට සිදුව ඇති බව වැඩිදුරටත් පැවසුවාය.

0 Comments