← BACKUncategorized

පැය 72 කින් මුළු නගරයම අඩපණ වන පර්යේෂණ වාර්තාවක් එළියට!

BY Dhanush•PUBLISHED AUGUST 9, 2026•1 MIN READ•0 COMMENTS

වෙලින්ටන් භූ තැටියේ ඇතිවිය හැකි රික්ටර් මාපක 7.5 ක බලවත් භූමිකම්පාවකින් පසුව, නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් කලාපයෙන් පිටතට දිවෙන මාර්ග ගමනාගමනයෙන් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ දැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ. ජාත්‍යන්තර ආපදා අවදානම් අවම කිරීමේ සඟරාවේ (International Journal of Disaster Risk Reduction) ප්‍රකාශයට පත් කර ඇති මෙම අධ්‍යයනය ඔක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Auckland) පර්යේෂකයින් වන අනිෂ් ඛාඩ්කා, ප්‍රකාශ් රංජිත්කාර් සහ සියෝසම් කොස්ටෙලෝ යන පිරිස විසින් සිදුකර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි විනාශකාරී භූමිකම්පාවකින් පසු අගනුවර මාර්ග පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වී, ප්‍රදේශය මාස ගණනාවක් පුරා සෙසු රටෙන් වෙන්වී යා හැකි බවයි.

පර්යේෂකයින් විසින් පාලම් සහ මහා මාර්ගවලට සිදුවිය හැකි ඉංජිනේරුමය හානි මෙන්ම රියදුරන්ගේ ප්‍රතිචාර සහ දැඩි රථවාහන තදබදය ආදී තත්ත්වයන් පරිගණක ආකෘති මගින් විශ්ලේෂණය කර තිබේ. ඒ අනුව භූකම්පනයෙන් පසු මුල් පැය 72 ඇතුළත වෙලින්ටන් වෙතින් පිටතට යන ගමන්වලින් සියයට 82 ක් සහ ඇතුළතට පැමිණෙන ගමන්වලින් සියයට 68 ක් සම්පූර්ණයෙන්ම අවහිර වී යනු ඇත. අංක 1 රාජ්‍ය මහා මාර්ගය (State Highway 1) සහ හට් පාර (Hutt Road) වැනි ප්‍රධාන ප්‍රවාහන මංපෙත් රැසක් වැසී යාම නිසා සුළු මාර්ග වෙත තදබදය යොමු වී මුළු ප්‍රවාහන ජාලයම අඩපණ වේ. මෙම තත්ත්වය හමුවේ ලෝවර් හට් සහ වෙලින්ටන් නගරවලට දැඩි බලපෑම් එල්ල වන අතර, හට් නිම්නය සහ වයිරපපා වැනි ප්‍රදේශ මාස තුනක් දක්වා ගොඩබිමින් හුදෙකලා වීමේ අවදානමක් පවතී. හදිසි අලුත්වැඩියාවන්ගෙන් මාස තුනකට පසුව පවා පිටතට යන ගමනාගමනයෙන් සියයට 49 ක් සහ ඇතුළතට එන ගමනාගමනයෙන් සියයට 25 ක් තවදුරටත් සිදුකළ නොහැකි වනු ඇත.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ට්‍රාන්ස්මිෂන් ගලි (Transmission Gully) වැනි නවීන යටිතල පහසුකම්වලට හානි සිදුනොවන බවට වන උපකල්පනය මත බැවින්, එම මාර්ගවලටද හානි සිදුවුවහොත් තත්ත්වය මීටත් වඩා බරපතල විය හැකිය. ඉදිරි වසර 100 ඇතුළත වෙලින්ටන් භූ තැටියේ මෙවැනි විශාල භූකම්පනයක් සිදුවීමේ සියයට 11 ක සම්භාවිතාවක් පවතින බැවින්, හදිසි සහන සේවා මෙන්ම අමතර මාර්ග පද්ධති සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ඉතා හදිසියේ ක්‍රියාත්මක කළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති.

සැ:යු- මෙය අනාවැකියක් බැවින් අනිසි ලෙස බියවීමට අවශ්‍ය නැත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *