
කොලොම්බියාවේ බටහිර කලාපයට බලපෑ රික්ටර් මාපකයේ (Richter scale) 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් විනාශකාරී භූමිකම්පාවකින් පුද්ගලයින් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 570 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, අතුරුදහන් වූ 2,000 කට අධික පිරිසක් සොයා දැවැන්ත මෙහෙයුම් ආරම්භ කර තිබේ. සඳුදා උදෑසන 7:34 ට පමණ චොකෝ (Chocó) ප්‍රදේශයේ සං හොසේ ඩෙල් පල්මාර් (San José del Palmar) නගරයට ආසන්නව, කිලෝමීටර් 103 ත් 107 ත් අතර ගැඹුරකින් හටගත් මෙම ප්‍රබල භූචලනය හේතුවෙන් මෙඩෙලින් සහ කාලි වැනි ප්‍රධාන නගර රැසක් දැඩි ලෙස සලිත විය.
මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ සං හොසේ ඩෙල් පල්මාර් නගරයෙන් සෘජු ජීවිත හානි වාර්තා නොවූවත්, මාර්ග අවහිර වීම් හේතුවෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. කෙසේ වෙතත්, කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 55 ක් පමණ දුරින් පිහිටි පරෙයිරා (Pereira) නගරයට ඉන් දැඩි හානි සිදු වූ අතර, එහිදී සිදුවූ ගොඩනැගිලි කඩා වැටීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇත. නගරයේ ප්ලාසා බොලිවාර් ප්‍රදේශයේ බහුලව පිහිටි නිවාස හා වාණිජ ගොඩනැගිලි සුන්බුන් බවට පත් වූ අතර, මටෙකාඤ්ඤා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (Matecaña International Airport) සිවිලිම් කඩා වැටීමෙන් ගුවන් මගීන් අතර දැඩි භීතියක් හටගත්තේය.
Valle del Cauca ප්‍රදේශයේ අගනුවර වන කාලි (Cali) හි ගොඩනැගිලි 32 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, කාලි විශ්වවිද්‍යාල රෝහලේ (University Hospital) ළමා, අභ්‍යන්තර වෛද්‍ය සෙවන ඇතුළු කොටස් රැසක් පවතින තට්ටු තුනක ගොඩනැගිල්ලෙන් සියයට 30 ක් පමණ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. “රෝහලේ ළමා රෝග අංශය ඇතුළු කොටස් රැසක් කඩා වැටීම නිසා රෝගීන් රැසක් සුන්බුන් අතර සිරවී සිටිනවා” යැයි ආණ්ඩුකාර දිලියන් ෆ්රැන්සිස්කා ටෝරෝ (Dilian Francisca Toro) ප්‍රකාශ කළ අතර, සහන කණ්ඩායම් සහ හමුදාව එක්ව සිරවූවන් මුදාගැනීමේ කඩිනම් මෙහෙයුම් දියත් කර ඇත.
නිවාස 1,500 කට වැඩි ප්‍රමාණයකට, සෞඛ්‍ය මධ්‍යස්ථාන 18 කට සහ පාසල් 52 කට හානි සිදුවීම හේතුවෙන් කොලොම්බියානු ජනාධිපති අබෙලාර්ඩෝ ඩෙ ලා එස්ප්‍රියෙල්ලා (Abelardo de la Espriella) විසින් රට තුළ ජාතික ආපදා තත්ත්වයක් (National Disaster Situation) ප්‍රකාශයට පත්කරන ලදී. සහනාධාර සහ හමුදා කණ්ඩායම් ප්‍රවාහනය සඳහා කලාපීය ගුවන්තොටුපළවල සාමාන්‍ය ගුවන් ගමන් සීමා කර ඇති අතර, අතුරුදහන් වූවන් සෙවීමේ මාර්ගගත පද්ධතියට (online database) මේ වන විටත් වාර්තා 2,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. මෙම ආපදා තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 15.5 ක හදිසි ආධාර ලබාදීමට පියවර ගෙන ඇති අතර, යුරෝපා සංගමය සිය චන්ද්‍රිකා සිතියම්කරණ පද්ධතිය හරහා සහන සේවාවන්ට සහාය දක්වයි.
පැසිෆික් “ගිනි වළල්ල” (Ring of Fire) ආශ්‍රිතව පිහිටීම නිසා කොලොම්බියාව නිතර භූමිකම්පාවලට ලක්වන නමුත්, මෙම අවස්ථාව 1999 වසරේ දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ භූමිකම්පාවෙන් පසු වාර්තා වූ ප්රබලතම තත්ත්වය ලෙස සැලකේ. පසුකම්පන (aftershocks) 21 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති පසුබිමක, විදුලි බලය බිඳවැටීම සහ මාර්ග ඇහිරීම හේතුවෙන් පීඩාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් අභියෝගාත්මක වී ඇත.

0 Comments