
ලෝකප්‍රකට ‘හීරෝස්’ (Heroes) සහ ‘නෑෂ්විල්’ (Nashville) ටෙලි වෘත්තාන්ත හරහා අතිශය ජනප්‍රියත්වයට පත් ඇමෙරිකානු රංගන ශිල්පිනී හේඩන් පැනටියර් (Hayden Panettiere) වයස අවුරුදු 36 දී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. ඇගේ පියා වන ස්කිප් පැනටියර් මහතා ඒබීසී පුවත් සේවය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම සංවේදී පුවත තහවුරු කර ඇති අතර, ඇගේ අභාවය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වුවද මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.
කුඩා කල සිටම වෙළඳ දැන්වීම් සහ ටෙලිනාට්‍ය හරහා කලා ක්ෂේත්රයට පිවිසි හේඩන්, 1998 වසරේ පික්සාර් ආයතනයේ A Bug’s Life සෙලෝලොයිඩ් චිත්‍රපටයේ ෆ්රින්සස් ඩොට්ගේ චරිතයට හඬකවමින් ග්‍රැමී සම්මාන නාම යෝජනාවක් පවා දිනාගැනීමට සමත් වූවාය. පසුව 2000 වසරේ ඩෙන්සල් වොෂින්ටන් සමඟ ‘රිමෙම්බර් ද ටයිටන්ස්’ චිත්‍රපටයට එක්වෙමින් ඇය ඇමෙරිකානු සිනමාවේ කැපී පෙනෙන යොවුන් රංගන ශිල්පිනියක් බවට පත් වූවාය.
2006 වසරේදී NBC නාලිකාවේ විකාශය වූ ‘හීරෝස්’ (Heroes) මාලා නාට්‍යයේ ක්ලෙයාර් බෙනට් නමැති විශේෂ හැකියාවන් සහිත පාසල් සිසුවියගේ චරිතය නිරූපණය කිරීමත් සමඟ හේඩන් ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රියත්වයක් අත්කර ගත්තාය. පසුව 2012 සිට 2018 දක්වා ‘නෑෂ්විල්’ (Nashville) ටෙලිනාට්‍යයේ ජූලියට් බාර්න්ස් ලෙස දැක්වූ විශිෂ්ට ගායන සහ රංගන කුසලතාව වෙනුවෙන් ඇය Golden Globe සම්මාන සඳහා දෙවතාවක්ම නිර්දේශ වූවාය. එමෙන්ම Scream චිත්‍රපට මාලාව හරහාද ඇය ප්‍රේක්ෂක ආදරය දිනාගත්තාය.
රංගන ජීවිතයේ සාර්ථකත්වය අතරතුරදී පෞද්ගලික ජීවිතයේ විවිධ අභියෝගවලට මුහුණ දුන් හේඩන්, ප්‍රසූතියෙන් පසු ඇතිවන විශාදය (Postpartum Depression), මානසික ආතතිය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳවද ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූවාය. 2026 වසරේදී ඇය විසින් නිකුත් කරන ලද ‘දිස් This Is Me: A Reckoning නමැති ස්වයංචරිතාපදාන ග්‍රන්ථය හරහා ළමා තරුවක් ලෙස ගෙවූ ජීවිතයත්, 2023 වසරේදී ඇගේ බාල සොහොයුරු ජැන්සන් පැනටියර්ගේ හදිසි වියෝවෙන් ඇතිවූ කම්පනයත් පිළිබඳව විවෘතව කරුණු හෙළි කළාය. සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට අමතක නොවන මතකයන් ඉතිරි කළ ඇය, සිය දියණිය Kaya ඇතුළු පවුලේ හිතවතුන් සහ ලොව පුරා විසිරී සිටින අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් ශෝකයේ ගිල්වමින් සමුගෙන තිබේ.

0 Comments