← BACKEnvironment

ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලීම්! නවසීලන්තයේ හොයොහෝ පෙන්ගුයින් බේරාගැනීමේ අන්තිම අවස්ථාව!

BY DhanushPUBLISHED AUGUST 19, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයට ආවේණික දුර්ලභතම පෙන්ගුයින් විශේෂයක් වන ‘හොයිහෝ’ (hoiho) නොහොත් කහ පැහැති ඇස් සහිත පෙන්ගුයින් පැටවුන් වේගයෙන් විනාශ කරමින් පවතින වෛරසයක් හේතුවෙන්, එම පෙන්ගුයින් විශේෂය ඉදිරි වසර පහ ඇතුළත සම්පූර්ණයෙන්ම වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

‘ගයිරෝවෛරස්’ (gyrovirus) නමැති නව වෛරසය මගින් ඇතිකරන ශ්වසන ආබාධී තත්ත්වයක් (Respiratory Distress Syndrome – RDS) හේතුවෙන් ආසාදනය වන පෙන්ගුයින් පැටවුන්ගෙන් 90% කට වැඩි ප්‍රමාණයක් උපත ලබා සති කිහිපයක් ඇතුළත පෙනහැලි සෙමෙන් පිරී මිය යයි. දැනට නවසීලන්තයේ ප්‍රධාන භූමිය තුළ මෙම පෙන්ගුයින් විශේෂයේ බිජු ලෑමට සමත් වැඩිහිටි සතුන් 326 දෙනෙකු වැනි කුඩා සංඛ්‍යාවක් පමණක් ඉතිරිව සිටීම නිසා, අලුත උපදින පැටවුන් මෙසේ මියයාම ඔවුන්ගේ ගහනය නැවත වර්ධනය වීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දමා තිබේ.

ඩනෙඩින් වනජීවී රෝහලේ (Dunedin Wildlife Hospital) පශු වෛද්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ලීසා අගිලා ඇතුළු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, දැනට මෙම පෙන්ගුයින් විශේෂය පසුවන ‘ජාතික වශයෙන් තර්ජනයට ලක්වූ’ (nationally endangered) තත්ත්වයේ සිට ඉහළම හදිසි අනතුරු ඇඟවීමේ මට්ටම වන ‘ජාතික වශයෙන් අතිශය තර්ජනයට ලක්වූ’ (nationally critical) තත්ත්වය දක්වා ඉහළ නැංවීමට නවසීලන්ත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Conservation – DOC) වහා පියවර ගතයුතු බවයි. එසේ කිරීමෙන් මොවුන් බේරා ගැනීමට අවශ්‍ය වැඩි අරමුදල් සහ රාජ්‍ය අවධානය හිමිවන අතර, කුකුළන්ගේ රක්තහීනතා වෛරසයට සමාන ලක්ෂණ ඇති මෙම වෛරසයට එරෙහිව එන්නතක් කඩිනමින් සංවර්ධනය කිරීමටද හැකියාව ලැබේ. වාසස්ථාන අහිමිවීම, විලෝපිකයන්ගේ තර්ජන සහ සාගර උෂ්ණත්වය ඉහළයාම හමුවේ දැඩි ලෙස පීඩා විඳින, නවසීලන්තයේ ඩොලර් පහේ නෝට්ටුවේ පවා සටහන්ව ඇති මෙම සංකේතාත්මක පෙන්ගුයින් විශේෂය මුළුමනින්ම වඳවී යාම වැළැක්වීමට නම් කඩිනම් රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වී තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *