← BACKCrime

ලොවම තිගැස්සූ බිම්මල් ඝා#න නඩුවට ජූරි සභාව ලැගුම්ගත් හෝටලයත් පැටලෙයි!

BY DhanushPUBLISHED AUGUST 19, 20261 MIN READ0 COMMENTS

විෂ සහිත බිම්මල් ආහාරයට දී ඥාතීන් තිදෙනෙකු ඝා#නය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින ඕස්ට්‍රේලියානු ජාතික එරින් පැටර්සන්ගේ නඩුවේ අභියාචනා විභාගයේදී, ඇගේ නීතිඥයින් අධිකරණය හමුවේ ආන්දෝලනාත්මක කරුණක් අනාවරණය කර තිබේ. විනිශ්චය සභාවේ ජූරිය ලැගුම් ගෙන සිටි හෝටලයේම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්, පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ද නවාතැන් ගෙන සිටීම හේතුවෙන් විත්තිකාරියට සාධාරණ නඩු විභාගයක් අහිමි වූ බව පැටර්සන්ගේ නීතිඥ කණ්ඩායම වික්ටෝරියා අභියාචනා අධිකරණයට දැනුම් දුන්නේය. 2023 ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ ලියොන්ගාතා හි පිහිටි ඇගේ නිවසේදී ඩෙත්-කැප් (death-cap) නමැති අධික විෂ සහිත බිම්මල් එකතු කර සකස් කළ ‘බීෆ් වෙලින්ටන්’ (beef Wellington) ආහාරයක් ලබා දී ඇගේ වෙන්වූ සැමියාගේ දෙමාපියන් වන දොන් සහ ගේල් පැටර්සන් මෙන්ම ගේල්ගේ සොහොයුරිය වූ හෙදර් විල්කින්සන් ඝා#නය කිරීම සම්බන්ධයෙන් 51 හැවිරිදි පැටර්සන් වරදකාරිය විය. එම ආහාරය අනුභව කළ හෙදර්ගේ සැමියා වන දේශීය පූජක ඉයන් විල්කින්සන් දැඩි ලෙස ගිලන්ව පසුව ජීවිතය බේරා ගැනීමට සමත් විය.

මෙම අභියාචනය ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රිචඩ් එඩ්නි අධිකරණය හමුවේ කියා සිටියේ, පැමිණිල්ලට සම්බන්ධ පුද්ගලයින් සමඟ ජූරි සභාව එකම හෝටලයක නවාතැන් ගැන්වීම සමස්ත අධිකරණ ක්‍රියාවලියේම බරපතල පටිපාටිගත බිඳවැටීමක් බවයි. ජූරි සභාව සහ සාක්ෂිකරුවන් අතර සෘජු සංවාද සිදු වූ බවට පැහැදිලි සාක්ෂි නොමැති වුවද, පැමිණිල්ලේ පාර්ශවයට නිරාවරණය වීමට ජූරියට ඉඩ සැලසීම තුළින් අසාධාරණයක් සහ අපක්ෂපාතීත්වයට හානියක් සිදු වීමේ දැඩි අවදානමක් නිර්මාණය වූ බව නීතිඥවරයා අවධාරණය කළේය. මීට අමතරව, චූදිතයාගේ ජංගම දුරකථන කුළුණු දත්ත සහ ‘iNaturalist’ වෙබ් අඩවියේ පළවූ විෂ බිම්මල් වාර්තා පදනම් කරගනිමින් විත්තිකාරිය එම ප්‍රදේශවල සැරිසැරූ බවට ගොඩනැගූ circumstantial සාක්ෂි අසාධාරණ බවත්, පැටර්සන්ගේ නිවසේ තිබී හමු වූ පැරණි බිම්මල් ඡායාරූප සාක්ෂි ලෙස පිළිනොගැනීම තුළින් ඇයට නිහඬව සිටීමේ අයිතිය අහිමි වී සාක්ෂි දීමට සිදු වූ බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි වෙනත් නීතිඥවරියක වන වේරෝනිකා ඩ්‍රාගෝ පෙන්වා දුන්නාය.

විෂ බිම්මල් සහිත ආහාරය අහම්බෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් බව පැටර්සන් පවසා සිටියද, එය සැලසුම්සහගතව කළ එකක් බව පැමිණිල්ල තහවුරු කළේය. ජූරි සභාව බාහිර බලපෑම්වලින් ආරක්ෂා කිරීමේ නීතිමය පදනම කඩවීම හේතුවෙන් මෙම නඩුව නැවත විභාග කරන ලෙස විත්තිය ඉල්ලා සිටින අතර, අභියාචනා අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දැනට කල් තබා ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *