
ලොව විශාලතම මත්ස්‍ය විශේෂය වන තල්මස් මෝරුන් (Whale Sharks) පැටවුන් බිහිකරන අභිරහස් ස්ථානය සොයාගැනීමට සමුද්‍රජීවී විද්‍යාඥයන් සමත්වී තිබේ. ඉන්දුනීසියාවේ බටහිර නුසා තෙන්ගාරා (West Nusa Tenggara) පළාතේ සාලේ බොක්ක (Saleh Bay) ආශ්රිත මුහුදු තීරයෙන් සෙන්ටිමීටර 135ත් 145ත් (අඩි 4.5ක් පමණ) අතර අතිශය කුඩා ප්‍රමාණයේ තල්මස් මෝර පැටවෙකු හමුවීමත් සමග වසර සිය ගණනක් පුරා පැවති මෙම විද්‍යාත්මක ගැටලුවට විසඳුම් ලැබෙමින් පවතී.
ලොව පුරා අඩි 60ක් දක්වා විශාලත්වයකින් වැඩෙන මෙම දැවැන්ත සමුද්‍ර ජීවීන්ගේ බෝවීම සිදුවන ආකාරය මෙතෙක් පැවතියේ විශාල අභිරහසක් ලෙසයි. මීට පෙර ගෝලීය සමුද්‍රජීවී පර්යේෂණ ඉතිහාසයේදී මෙතරම් කුඩා මෝර පැටවුන් වාර්තා වී ඇත්තේ වාර 33කදී පමණි. Konservasi Indonesia සංවිධානයේ සමුද්‍ර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෑතකදී හමුවූ මෙම පැටවා මාස හතරක් පමණ වයසැති එකෙකු වන අතර, මෙම සොයාගැනීමත් සමග සාලේ බොක්ක ලොව පළමු තල්මස් මෝරුන්ගේ බෝවන සහ පැටවුන් වර්ධනය වන ප්‍රධාන ස්වාභාවික ආරක්ෂිත කලාපය (Pupping and Nursery Ground) ලෙස හඳුනාගැනීමේ ප්‍රබල පදනමක් නිර්මාණය වී ඇති බවයි.
දේශීය ධීවරයන්ගේ සහාය ඇතිව සිදුවූ මෙම සොයාගැනීමත් සමග, අඳාල මුහුදු තීරයේ තවත් කුඩා මෝරු පැටවුන් කිහිපදෙනෙකුම නිරීක්ෂණය වී ඇත. අන්තර්ජාතික සොබාදහම් සංරක්ෂණ සංගමයේ (IUCN) රතු දත්ත ලැයිස්තුවට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මෙම ජීවී විශේෂය සුරැකීම උදෙසා සාලේ බොක්ක ප්‍රදේශය ඉන්දුනීසියාවේ පළමු තෙල්මස් මෝරුන් වෙනුවෙන් වෙන්වූ සමුද්‍ර ආරක්ෂිත කලාපය (Marine Protected Area – MPA) ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය සහ සංරක්ෂණ සංවිධාන මේ වන විට පියවර ගනිමින් සිටී.

0 Comments