
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් (Christchurch) නගරයේ පදිංචි නිවාස හිමියෙකු විසින් තමාගේ සේවා ස්ථානයේ සගයෙකුට නීතිවිරෝධී ලෙස ගරාජයක් කුලියට දීමේ පුවතක් වාර්තා වේ. අදාළ ස්ථානයේ පැවැති දැඩි ශීතල සහ අවම පහසුකම් හේතුවෙන් අසහනයට පත් කුලී නිවැසියා, අධිකරණමය බලය සහිත නවසීලන්ත බදු නිවාස විනිශ්චය සභාව (Tenancy Tribunal) හමුවේ ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාළ නිවාස හිමියාට තම සගයා වෙත නවසීලන්ත ඩොලර් 5,700ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇත.
නවසීලන්ත බදු නිවාස නීතියට අනුව, පදිංචිය සඳහා දෙනු ලබන ඕනෑම ස්ථානයක් පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලත්, නිසි ලෙස තාප පරිවාරක (insulation) යොදා සකස් කළ සහ නියමිත සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ස්ථානයක් විය යුතුය. මෙම සිදුවීමේදී අදාළ ගරාජය නේවාසික පරිශ්‍රයක් ලෙස පරිවර්තනය කිරීමට කිසිදු රාජ්‍ය අනුමැතියක් ලබාගෙන නොතිබූ අතර, ක්‍රයිස්ට්චර්ච් හි පවතින දැඩි ශීත කාලගුණය හමුවේ එහි පදිංචි වී සිටි සේවකයා දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබේ. ඒ අනුව, අයකරගත් කුලී මුදල් නැවත ලබාදීම, වන්දි මුදල් සහ නඩු ගාස්තු ඇතුළුව මෙම සම්පූර්ණ මුදල ගෙවීමට නිවාස හිමියාට සිදුවිය.
යහළුවන් හෝ සේවා ස්ථානයේ සගයන් අතර ඇතිකරගන්නා පෞද්ගලික එකඟතාවලට වඩා රටේ පවතින පදිංචි නිවාස නීති බලපැවැත්වෙන බව මෙම නඩු තීන්දුව මගින් නැවතත් තහවුරු කර ඇත. නීත්‍යානුකූල නොවන සහ අවම පහසුකම්වත් නොමැති ගරාජ් හෝ තාවකාලික නවාතැන් කුලියට දෙන නිවාස හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට නවසීලන්ත බදු නිවාස අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

0 Comments