← BACKUncategorized

ලොතරැයි නිවේදකයා කළ දැවැන්ත මූල්‍ය වංචාව! වැඩ තහනම්ව ගෙදර සිටියදීත් රජයෙන් කෝටි ගණනක වැටුප් අරන්!

BY DhanushPUBLISHED AUGUST 30, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ප්‍රසිද්ධ රූපවාහිනී ලොතරැයි නිවේදකයෙකු වූ රසල් හැරිසන් (Russell Harrison) බරපතල මුදල් විශුද්ධිකරණ චෝදනාවලට ලක්ව වසර පහක් පුරා වැඩ තහනමකට ලක්ව සිටියදීත්, රජයේ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන අඩකට අධික මුදලක් (නවසීලන්ත ඩොලර් 500,000කට වැඩි) වැටුප් ලෙස ලබාගෙන ඇති පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ.

56 හැවිරිදි වියේ පසුවන හැරිසන්, 2021 ජූනි මාසයේදී නවසීලන්ත අධිකරණ අමාත්‍යාංශයේ රෝටෝරුවා (Rotorua) පවුල් අධිකරණයේ මාර්ගදේශකයෙකු ලෙස සේවයට එක්වී දින කිහිපයකින්, ඇමෙරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මර්දන වැටලීමකදී අත්අඩංගුවට ගැනුණි. අන්කල් කොමන්චෙරෝස් (Comancheros) පාතාල කල්ලිය වෙත රත්තරන් කිලෝ ගණනාවක් ලබාදීමට සහයවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඔහු, එතැන් සිට සේවයට වාර්තා නොකළද, පූර්ණ වැටුප් සහිතව අඛණ්ඩව වසර පහක් තිස්සේ රාජ්‍ය මුදල් ලබාගෙන ඇත.

මෙම නඩු කටයුත්ත වසර පහක් පුරා ඇදී යාම හේතුවෙන් වසරකට ඩොලර් 100,000කට ආසන්න මුදලක් බැගින් මුළු එකතුව ඩොලර් 564,000කට ආසන්න පූර්ණ වැටුප් ප්‍රමාණයක් ලබාගැනීමට හැරිසන්ට අවස්ථාව හිමිව තිබේ. ඔහු 2026 අගෝස්තු මාසයේදී මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු බව පිළිගැනීමෙන් පසුව පමණක් සේවයෙන් පහකිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අපරාධ නඩුවක තීන්දුවක් එනතෙක් වරදකරු නොවන බවට වන නෛතික ප්‍රතිපත්තිය හේතුවෙන් මෙලෙස වැටුප් ගෙවූ බව අධිකරණ අමාත්‍යාංශය පැවසුවද, පූර්ව පොලිස් වාර්තා ලැබුණු වහාම සේවය අවසන් කිරීමට තිබූ හැකියාව පැහැරහැරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලවී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) ප්‍රකාශ කර ඇත්තේ සේවය නොකළ අයෙකුට බදු ගෙවන්නන්ගේ මුදලින් මෙලෙස වසර පහක් වැටුප් ගෙවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බරපතල වරදක් බවයි. අධිකරණ අමාත්‍ය පෝල් ගෝල්ඩ්ස්මිත් (Paul Goldsmith) විසින් මෙම පද්ධතිමය අසාර්ථකත්වය පිළිබඳව වහාම සොයා බැලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා විශේෂ හදිසි පරීක්ෂණයක් (rapid review) නියෝග කර තිබේ. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇන්ඩෲ කිබ්ල්වයිට් (Andrew Kibblewhite) මෙම බරපතල අතපසු වීම පිළිබඳව ප්‍රසිද්ධියේ කණගාටුව පළකර ඇති අතර, මෙවැනි නීතිමය ගැටලු සහිත සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ රෙගුලාසි ඉදිරියේදී සපූර්ණයෙන්ම සංශෝධනය කිරීමට නවසීලන්ත රජය තීරණය කර ඇත.

මෙම සිදුවීමත් සමග මෑතකදී ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් විභාග කළ පැමිණිල්ලක් ඔබේ මතකයට නැගිය යුතුයි. සිදුවීම් ද්විත්වයෙන්ම අපට පැහැදිලි වන්නේ මහජන බදු මුදල් සූරාකමින් රාජ්‍ය මුදල් දූෂණය කරන බලපුළුවන්කාරයින්ට නිසි දඩුවම් දීමට නම් රාජ්‍ය යාන්ත්‍රණය නැවත සංශෝධනය විය යුතු බවයි. නවසීලන්තයේත් ශ්‍රී ලංකාවේත් එය එසේ වනු ඇතැයි අපි බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටිමු!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *