← BACKEconomy

“20%ක මූලික තැන්පතුව නැතුවට කමක් නෑ”නිවාස ණය සීමා ලිහිල් කරන්න නවසීලන්තයෙන් අලුත් වැඩක්!

BY Dhanush•PUBLISHED SEPTEMBER 6, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ පළමු වරට නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන මධ්‍යම ආදායම්ලාභීන්ට සහනයක් සැලසීමේ අරමුණින්, සියයට 5ක අත්පිට මුදල් (5% deposit) තැන්පතුවක් යටතේ ගෘහ ණය ලබාදීමේ රජයේ සහනදායී යෝජනාක්‍රමය වැඩි ආදායම් ලබන පිරිස් වෙතද විවෘත කිරීමට නැෂනල් පක්ෂය යෝජනා කර තිබේ. දැනට පවතින නීතිරීතිවලට අනුව කයිංගා ඕරා (Kāinga Ora) ආයතනය හරහා ක්‍රියාත්මක වන මෙම First Home Loan ව්‍යාපෘතිය යටතේ සහන හිමිවන්නේ තනි පුද්ගලයෙකු සඳහා වසරකට නියමිත උපරිම ආදායම ඩොලර් 95,000ක් වන අතර පවුලක් සඳහා එය ඩොලර් 150,000කි.

කෙසේ වෙතත්, ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් තිබුණද, පවතින ඉහළ නිවාස මිල හමුවේ සාමාන්‍ය බැංකු ඉල්ලන සියයට 20ක මූලික තැන්පතුව සොයා ගැනීමට නොහැකිව අමාරුවේ වැටී සිටින මධ්‍යම පංතික ජනතාව ඉලක්ක කරමින් නැෂනල් පක්ෂය මෙම ආදායම් සීමාවන් ඉහළ දැමීමට සැලසුම් කරයි.

මෙම අලුත් යෝජනාව මගින් මූලික තැන්පතු බාධකය ඉවත් කරමින් වැඩි ජනගහනයකට නිවාස හිමිකම ලබාදීමට අපේක්ෂා කරන අතර, ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් වැනි අධික නිවාස මිලක් පවතින නගරවලට ගැලපෙන පරිදි ප්‍රදේශීය නිවාස මිල සීමාවන් ද නැවත සමාලෝචනය කිරීමට යෝජනා කර ඇත. මෙමගින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව වාණිජ බැංකු හරහා අඩු තැන්පතු සහිත ණය නිකුත් කිරීම ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, මෙමගින් නිවාස සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් නිවාස මිල තවදුරටත් ඉහළ යා හැකි බවටත්, විශාල ණය මුදලක් ලබාගැනීම නිසා දීර්ඝකාලීන ණය වාරික ගෙවීමේ පීඩනය වැඩිවිය හැකි බවටත් විචාරකයින් මත පළ කරයි. එසේ වුවද, කුලී නිවාසවල ජීවත්වන ජනතාවට තමන්ගේම කියා නිවසක් ලබාගැනීමට ඇති බාධා ඉවත් කිරීම වෙනුවෙන් මෙම පියවර ඉතා ප්‍රායෝගික එකක් බව නැෂනල් පක්ෂය අවධාරණය කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *