
සිය පෙම්වතාගේ අතීත විවාහයන් දෙකක් හේතුවෙන් නවසීලන්තයේ ස්ථිර පදිංචිය ලබාගැනීමට සිහින මැවූ කාම්බෝජ ජාතික කාන්තාවකට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ. නවසීලන්ත වැසියෙකු වන තම පෙම්වතා සමඟ එක්ව ජීවත්වීම සඳහා සරෙට් හායි (Saret Hai) නැමැති මෙම කාන්තාව ඉදිරිපත් කළ සහකරු විසා (partnership visa) අයදුම්පත සඳහා මුලින් ආගමන විගමන බලධාරීන්ගේ අනුමැතිය හිමිව තිබුණද, පසුව එම වීසාව හදිසියේම අවලංගු කිරීමට නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම තීරණයත් සමඟ ඇයගේ නවසීලන්ත සිහිනය බොඳවී ගොස් ඇති අතර, ඇයට රටින් පිටුවහල් වීමේ අවදානමක්ද මතුව තිබේ.
මෙම අර්බුදයට හේතුවී ඇත්තේ නවසීලන්තයේ පවතින දැඩි ආගමන විගමන නීතියකි. එම නීතියට අනුව නවසීලන්ත පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචිකරුවෙකුට සිය ජීවිත කාලය තුළදී ස්ථිර පදිංචිය සඳහා අනුග්‍රහය දැක්විය හැක්කේ සහකරුවන් හෝ සහකාරියන් දෙදෙනෙකුට පමණි. හායිගේ පෙම්වතා මීට පෙර අවස්ථා දෙකකදී සිය පූර්ව සහකාරියන් දෙදෙනෙකු උදෙසා එම අනුග්‍රහය දක්වා තිබීම නිසා, නීත්‍යානුකූලව තෙවන සහකාරියක ලෙස ඇයට අනුග්‍රහය දැක්වීමට ඔහුට හැකියාවක් නැත. වීසාව නිකුත් කරන අවස්ථාවේදී නිලධාරීන් අතින් මෙම කරුණ මඟහැරී තිබීම විශේෂත්වයකි.
ව්‍යාජ විවාහයන් හරහා වීසා ලබාගැනීමේ ජාවාරම් වැළැක්වීම සඳහා මෙම සීමා පනවා තිබුණද, මෙම යුවළ වෙනුවෙන් පෙනී සිටින්නන් පෙන්වා දෙන්නේ පෙම්වතාගේ අතීත සබඳතා ව්‍යාජ ඒවා නොව වසර ගණනාවක් පැවැති සැබෑ විවාහයන් බවයි. ඔහු සිය පළමු බිරිඳ සමඟ වසර 22ක් ජීවත් වී ඇති අතර, දෙවන බිරිඳ සමඟ ඇය පිළිකා රෝගයෙන් මියයන තෙක්ම එකට ජීවත් වී ඇත. කෙසේ වෙතත්, වත්මන් නීතිරාමුව තුළ මානුෂීය පදනම මත නිලධාරීන්ට අභිමතය පරිදි තීන්දු ගැනීමට ඉඩක් නැත. මුලින් වීසාව ලබාදී පසුව එය අවලංගු කිරීම නිසා මෙම යුවළ දැඩි මානසික සහ නීතිමය ආරවුලකට ඇද වැටී ඇති අතර, විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ අභියාචනයක් හරහා සහනයක් නොලැබුණහොත් ඇයට රටින් පිටවීමට සිදුවනු ඇත.

0 Comments