
නවසීලන්තයේ Te Awamutu දුම්රිය ස්ථානයේදී සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සැප්තැම්බර් 20 වැනිදා පස්වරු 6:20 ට පමණ ලැබුණු හදිසි ඇමතුම් මත පොලීසිය ඇතුළු හදිසි පාලන අංශ වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ තිබේ.
ජ්‍යෙෂ්ඨ සාජන්ට් ජෝන් මැකාති (Senior Sergeant John McCarthy) තහවුරු කළේ, අනතුර සිදුවූ ස්ථානයේදීම අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි. අනතුර සිදුවූ වහාම උපකාර කිරීමට ඉදිරිපත් වූ පිරිස් සහ මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අවශ්‍ය මානසික සහන සේවාවන් සැපයීමට පොලීසිය පියවර ගෙන ඇත.
සිදුවීමෙන් පසු තේ අවාමුටු දුම්රිය ස්ථානය ආශ්රිත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගත් අතර, මහජනතාවට එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, මහජනතාවට තවදුරටත් අනතුරක් නොමැති බව බලධාරීහු තහවුරු කළහ.
පොලිස් බරපතල රථවාහන අනතුරු විමර්ශන ඒකකය (Serious Crash Unit) මගින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු නිම කර ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා වැඩිදුර විමර්ශන දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම අවාසනාවන්ත සිදුවීම ඇසින් දුටු යම් අයෙක් වේ නම්, ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ සාජන්ට් මැකාති මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 105 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 105.police.govt.nz වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි අංක P067689720 යටතේ පොලීසිය වෙත තොරතුරු ලබාදිය හැක.

0 Comments