
නොවැම්බර් 7 වනදා පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණය ආසන්නවත්ම, පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා අවශ්‍ය සියයට 5 ක ඡන්ද පදනම සපුරා ගැනීමේ ආසන්නයටම පැමිණ සිටින The Opportunity Party – TOP ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිසංස්කරණ යෝජනාවලිය කෙරෙහි මෙරට දේශපාලන හා ආර්ථික විචාරකයින්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. Qiulae Wong ගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය විසින් “පුරවැසි ආදායම” ලෙස හඳුන්වා දෙන විශ්ව ප්‍රජා ආදායම් ක්‍රමවේදයක් (Universal Basic Income) මගින් පවත්නා සුබසාධන පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට යෝජනා කර ඇත. කෙසේ වෙතත්, වෙලින්ටන් වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ පර්යේෂක මයිකල් ෆ්ලෙචර් (Michael Fletcher) විසින් සිදුකරන ලද විශ්ලේෂණයකට අනුව හෙළි වන්නේ, මෙම නව බදු ක්‍රමය මගින් මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන්නන්ට විශාල වාසියක් හිමිවුවද, රටේ අතිශය දිළිඳු සහ අසරණ පවුල්වලට ලැබෙන ප්‍රතිලාභය ඉතාම අවම මට්ටමක පවතින බවයි.
මෙම යෝජනාවලිය යටතේ සෑම සුදුසුකම් ලත් පුරවැසියෙකුටම වසරකට නවසීලන්ත ඩොලර් 19,400 ක බදුවලින් නිදහස් මූලික ආදායමක් හිමිවන අතර ආබාධිත, තනි මාපිය, නිවාස සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙනම අතිරේක දීමනා ලබාදීමට නියමිතය. දැනට පවතින ප්‍රධාන සුබසාධන ගෙවීම්, විශ්‍රාම වැටුප් සහ අතිරේක සහනාධාර සම්පූර්ණයෙන්ම අහෝසි කර ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ ආදායම් බදු ඉහළ දැමීමෙන් නොව, නාගරික ඉඩම් වටිනාකම මත සියයට 1.75 ක සහ ග්‍රාමීය ඉඩම් මත සියයට 0.5 ක වාර්ෂික ඉඩම් බද්දක් (Land Value Tax) පැනවීමෙනි. ඒ අනුව ඉහළම ආදායම් බදු සීමාව සියයට 39 ක් ලෙසම පවතිනු ඇත.
නමුත් මෙම ක්‍රමය මගින් අඩු ආදායම්ලාභීන්ට සාපේක්ෂව ඉහළ ආදායම් ලබන පාර්ශවයන්ට වැඩි වාසියක් හිමිවන බව පර්යේෂකයන් පෙන්වා දෙයි. වසරකට ඩොලර් 30,000 කට වඩා උපයන තනි පුද්ගලයෙකුට ඉඩම් බදු අයවීමට පෙර වසරකට ඩොලර් 11,000 කට වැඩි ශුද්ධ වාසියක් හිමිවන අතර, කිසිදු වෙළඳපොළ ආදායමක් නොමැති අතිශය දිළිඳු පුද්ගලයෙකුට මෙමගින් ලැබෙන්නේ වසරකට ඩොලර් 27 ක (සතියකට ශත 52 ක) ඉතා සුළු මුදලකි. එමෙන්ම මෙම ඉඩම් බද්ද ක්‍රියාත්මක වීමත් සමඟ ඉඩම් වටිනාකම් පහත වැටීමේ අවදානමක් ඇතිවන අතර, තමන්ගේම නිවාස හිමි අසරණ විශ්‍රාමිකයන්ට සහ සහනාධාර ලබන්නන්ට වසරකට ඩොලර් 10,000 කට ආසන්න ඉඩම් බද්දක් ගෙවීමට සිදුවීමෙන් ඔවුන් දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.

0 Comments