
නවසීලන්ත ආයතනයක දූරස්ථ රැකියාවකට (remote job) ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රහසිගතව බැඳුණු උතුරු කොරියානු ඔත්තුකරුවෙකු, එමගින් උපයාගත් මුදල් ප්යොංයැං හි කිම් ජොං අන්ගේ පාලන තන්ත්රය වෙත යොමු කර ඇති බව එරට රාජ්‍ය සයිබර් ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරයි. රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශයට (Government Communications Security Bureau) අයත් ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය (National Cyber Security Centre) මගින් හෙළිදරව් කරන ලද මෙම සිද්ධියේදී, අදාළ ඔත්තුකරු අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බඳවාගැනීම් ක්‍රියාවලියේ පවතින දුර්වලතාවලින් ප්‍රයෝජන ගනිමින් අදාළ සමාගමට ඇතුළත් වී ඇති අතර, පසුව බුද්ධි අංශ මැදිහත්වීමෙන් එම නීතිවිරෝධී ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර සම්බාධක මගහැරීම සඳහා උතුරු කොරියාව විසින් දියත් කරනු ලබන දැවැන්ත ආදායම් උත්පාදන උපායමාර්ගයක කොටසක් ලෙස මෙම ක්‍රියාව හඳුනාගෙන ඇත. මහා පරිමාණ සයිබර් ප්‍රහාරවලට අමතරව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන් සඳහා අවශ්‍ය විදේශ විනිමය රැස්කිරීමට කිම් ජොං අන් පාලනය විසින් දහස් සංඛ්‍යාත පරිගණක තාක්ෂණික ශිල්පීන් (IT workers) ලොව පුරා බටහිර ආයතන වෙත යොමු කරනු ලබයි. මෙම ඔත්තුකරුවන් සොරකම් කරන ලද විදේශීය ජාතිකයන්ගේ අනන්‍යතා, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සකසන ලද ඡායාරූප, ප්‍රොක්සි ජාල (proxy networks) සහ වෙනත් රටවල ස්ථාපිත ‘ලැප්ටොප් ෆාම්’ (laptop farms) වැනි සූක්ෂම තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් බඳවාගැනීමේ නිලධාරීන් මුලා කර රැකියාවලට ඇතුළත් වන බවට ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මෙලෙස සේවයට එක්වන පුද්ගලයන් හරහා අදාළ ආයතනවල රහස්‍ය තොරතුරු සොරකම් කිරීම සහ සයිබර් ප්‍රහාර සඳහා පසුබිම සකස් කිරීම වැනි දැඩි අවදානම් ද මතුවේ. ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) සහ ඕස්ට්‍රේලියානු සංඥා අධ්යක්ෂ මණ්ඩලය (ASD) ඇතුළු Five Eyes බුද්ධි එකමුතුවේ රටවල් ද මෙවැනි තර්ජන පිළිබඳව දිගින් දිගටම අවධානය යොමුකර ඇත. නවීන රැකියා වෙළඳපොළ තුළ දූරස්ථ රැකියා (remote jobs) ප්‍රචලිත වීමත් සමඟ, සේවකයන් බඳවා ගැනීමේදී සජීවී වීඩියෝ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සහ ජාල සක්‍රීය වන ස්ථාන නිරීක්ෂණය කිරීම වැනි දැඩි ආරක්ෂණ පියවර අනුගමනය කරන ලෙස සයිබර් ආරක්ෂණ ඒජන්සි ආයතනවලට උපදෙස් දෙයි.

0 Comments