
ඔක්තෝබර් 01 වන බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන පරිදි නවසීලන්තය පුරා මහා මාර්ගනීති වල (Land Transport Road User Rule 2004) දැවැන්ත සංශෝධනයක් සිදුකර තිබේ. රථවාහන ගමනාගමනය නූතන අවශ්‍යතාවලට ගැලපෙන සේ සකස් කිරීම, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ ගමන් ගන්නා සැමගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම නව ගමනාගමන නීති මාලාවේ මූලික අරමුණයි. එදිනෙදා ගමනාගමනයේදී රියදුරන්ට සහ මගීන්ට මුහුණදීමට සිදුවන අනවශ්‍ය ගැටලු රැසකට මෙමගින් ස්ථිර විසඳුම් ලැබෙනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය ක්‍රිස් බිෂොප් මහතා සඳහන් කරයි.
මෙම අලුත් නීති සමුදාය යටතේ රියදුරන් සඳහා වන ප්‍රධානතම වෙනස්කම වන්නේ පාපැදිකරුවන්, පදිකයන් සහ අශ්වාරෝහකයන් පසුකර යාමේදී තැබිය යුතු අවම පරතරය මීටර් 1.5 ක් ලෙස නීතියෙන්ම නියම කිරීමයි. පෙර යෝජනාවල වේග සීමා අනුව විවිධ පරතරයන් පැවතියද, රියදුරන්ගේ පහසුව උදෙසා ඕනෑම වේග සීමාවකට එකම අවම පරතරයක් නියම කර ඇත. එසේම වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට පදික වේදිකාවේ පාපැදි පැදීමට අවසර හිමිවන අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්ට හෝ භාරකරුවන්ටද දරුවන් සමඟ පදික වේදිකාවේ පාපැදි පැදීමට නීතිමය ඉඩකඩ සැලසේ.
මහජන ප්‍රවාහන සේවා සහ ඉලෙක්ට්‍රොනික රෝද පැපැදි (E-Scooters) භාවිත කරන්නන් උදෙසාද නව සංශෝධන කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව පැයට කිලෝමීටර් 60 ට අඩු වේග සීමා සහිත මාර්ගවල බස් නැවැතුම්පොළකින් හෝ බස් මංතීරුවකින් ප්‍රධාන මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කරන බස් රථවලට රියදුරන් ඉඩදිය යුතු අතර, ඒ සඳහා බස් රථ සංඥා ලාම්පු අවම වශයෙන් තත්පර 3 ක් වත් දල්වා තැබිය යුතුය.
මීට අමතරව, සාමාන්‍ය විදුලි රෝද පැපැදි සඳහාද මින් ඉදිරියට වෙන්කළ පාපැදි මංතීරුවල ගමන් කිරීමට නීතිමය මගපෑදී ඇත. පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැති මහජන අදහස් විමසීම්වලින් අනතුරුව මෙම නීති කෙටුම්පත් කර ඇති අතර, නව මාර්ග නීති පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ලෙස ප්‍රවාහන බලධාරීන් සියලු මාර්ග භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටී.

0 Comments