
පසුගිය වසර පහ ඇතුළත පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු (Health Insurance Premiums) සියයට 75කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ හිමිකම් ලබාදීමේදී මතුවන ගැටලු හේතුවෙන්, සෞඛ්‍ය රක්ෂණයක් පවත්වාගෙන යාම සැබැවින්ම වාසිදායකද යන්න පිළිබඳව නවසීලන්ත වැසියන් අතර දැඩි සංවාදයක් මතුව තිබේ. ප්‍රකට සූපවේදී සයිමන් ගෝල්ට් සිය චර්ම පිළිකා ප්‍රතිකාරය සඳහා ‘සදර්න් ක්‍රොස්’ (Southern Cross) රක්ෂණ සමාගම මුදල් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කළ හෙළිදරව්ව සමගින් මෙම මාතෘකාව නැවතත් කරළියට පැමිණ ඇත.
තමන්ට වැළඳී ඇති පිළිකා තත්ත්වයට සුවපත් වීමේ වැඩි ඉඩක් ඇති ‘Mohs’ සැත්කම නිර්දේශ කළද, රක්ෂණ සමාගම ඊට අදාළ ප්‍රතිපාදන ලබාදීම ප්‍රතික්ෂේප කර සාමාන්‍ය සැත්කමක් සඳහා පමණක් මුදල් ගෙවීමට එකඟ වූ බව ඔහු පවසයි. සදර්න් ක්‍රොස් සමාගම පසුගිය දෙසැම්බර් මාසයේ සිට අදාළ සැත්කම් සඳහා වන කොන්දේසි තද කිරීම මීට හේතුවී ඇති අතර, මෙම සිදුවීමත් සමග බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ අධික ලෙස මුදල් ගෙවා රක්ෂණ ආවරණ පවත්වාගෙන යාමේ තේරුමක් තිබේද යන්නයි.
මේ අතර තමන්ගේම මුදල් ඉතිරි කර ගනිමින් ප්‍රතිකාර ලබාගැනීමට (Self-insuring) සිතන පුද්ගලයන්ටද මූල්‍ය උපදේශකයන් අනතුරු අඟවන්නේ, එය ඉතා අවදානම් සහගත ක්‍රියාවක් බවයි. Hip Replacement සැත්කම සඳහා ඩොලර් 33,000ක් සහ පිළිකා ප්‍රතිකාර සඳහා වසරකට ඩොලර් 265,000ක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, හදිසියේ මතුවන මහජන සෞඛ්‍ය ගැටලුවකදී සාමාන්‍ය පුද්ගලයෙකුට තනිව මුදල් සපයා ගැනීම අතිශය අපහසු බව චැට්ස්වුඩ් කන්සල්ටින් (Chatswood Consulting) හි රසල් හචින්සන් (Russell Hutchinson) සහ විලෝග්රෝව් කන්සල්ටින් (Willowgrove Consulting) හි ජොන්-පෝල් හේල් (Jon-Paul Hale) පෙන්වා දෙති.
අය කරන ගාස්තු අවම කරගැනීම සඳහා හිමිකම් ගෙවීමේ සීමාවන් ඉහළ දැමීම හෝ ප්‍රතිකාර වගන්ති වෙනස් කිරීම වැනි විකල්ප වෙත යොමුවන ලෙසත්, සෞඛ්‍ය රක්ෂණ සම්පූර්ණයෙන්ම අහෝසි කළහොත් පසුව නැවත රක්ෂණයක් ලබාගැනීමේදී පවතින රෝගී තත්ත්වයන් (Pre-existing conditions) ආවරණය නොවන බවටත් රක්ෂණ සමාගම් වැඩිදුරටත් අවධාරණය කරයි.

0 Comments