
2023 වසරේ සිට කුක් දූපත් සමූහයට අයත් රැරොටොංගා (Rarotonga) දූපතේ සිරවී සිටින 49 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ යළි සිය මව්බිම වන ශ්‍රී ලංකාවට පැමිණීමයි. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ සංක්‍රමණික බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමට පවා තමන් සූදානම් බව ඇය ප්‍රකාශ කර සිටින්නිය. තමන්ගේ එකම අරමුණ එකී රටවල අත්අඩංගුවේ පසුවෙමින් හෝ ගුවන් තොටුපළ හරහා නැවත ශ්‍රී ලංකාවට ගමන් කිරීම පමණක් බව බලධාරීන්ට ඒත්තු ගැන්වීම ඇගේ අපේක්ෂාවයි.
‘කුක් අයිලන්ඩ්ස් නිවුස්’ (Cook Islands News) පුවත් සේවය වාර්තා කරන පරිදි, දේශීය සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් වීසා කාලය ඉක්මවා රැඳී සිටින තැනැත්තියක ලෙස ඇය මේ වන විට කුක් දූපත්හි පසුවෙයි. එහෙත් ඇයව එරටින් පිටුවහල් කිරීමට හෝ මව්බිමට යැවීමට කුක් දූපත් බලධාරීන්ටද නෛතික හැකියාවක් නැත. ඊට හේතුවී ඇත්තේ ඇයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය හරහා ගමන් කිරීමට අවශ්‍ය සංක්‍රමණික අනුමැතිය (Transit approval) එම රටවල් දෙක විසින්ම එකහෙළා ප්‍රතික්ෂේප කර තිබීමයි.
නවසීලන්ත සංක්‍රමණික දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කාන්තාව හුදෙක් නවසීලන්තය හරහා ගමන් කිරීමේ අරමුණින් පමණක් පැමිණෙන්නේ යැයි තමන් විශ්වාස නොකරන බවයි. මේ අතර ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සෘජු අදහස් දැක්වීමක් ප්‍රතික්ෂේප කර ඇති අතර, 1958 සංක්‍රමණික පනත සහ 1994 සංක්‍රමණික රෙගුලාසිවලට අනුව ඕස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම විදේශිකයෙකු සෞඛ්‍ය, ආරක්ෂක සහ අනන්‍යතා පසුබිම් පරීක්ෂාවන්ට ලක්වීම අනිවාර්ය බව පෙන්වා දී තිබේ.
සැමියාගේ හදිසි ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පිටත්වූ මෙම කාන්තාව, වසරකට ආසන්න කාලයක් හොංකොං හි සේවය කර ඇති අතර, 2023 මාර්තු මාසයේදී නවසීලන්තයේ රැකියා වීසාවක් ලබා ගැනීමට සමත්ව ඇත. එහි සේවය කරන අතරතුර ඇය දේශපාලන රැකවරණ (Political Asylum) පතා අයදුම් කර ඇති අතර, එම අයදුම්පත පරීක්ෂා කරමින් පවතින අතරතුර නවසීලන්තයෙන් පිටව ගොස් නැවත පැමිණෙන ලෙස නීති උපදෙස් ලැබී තිබේ.
මෙම ක්‍රියාවලිය සඳහා “Immigration and Secretarial Services” නැමති ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 20,000කට ආසන්න මුදලක් ගෙවා ඇති බව පවසන ඇය, 2024 පෙබරවාරි මාසයේදී එකී ආයතනයේ අධ්‍යක්ෂිකා සිල්වියන් ගැලන්ට් (Sylviane Gallant) විසින් අදාළ ගැටලුව නවසීලන්ත සංක්‍රමණ අංශය භාරයේ පවතින බැවින් නීතිමය සහාය පතන ලෙස තමන්ට දැනුම් දුන් බව ප්‍රකාශ කළාය. මේ අතරතුර, නවසීලන්තයේ හිටපු සහකාර සංක්‍රමණික අමාත්‍ය ක්‍රිස් පෙන්ක් (Chris Penk) ගෙන් ඇය සහාය ඉල්ලා සිටියද, එම ඉල්ලීම වත්මන් සහකාර අමාත්‍ය කැමරන් බෲවර් (Cameron Brewer) වෙත යොමු කර ඇතත්, පෞද්ගලිකත්ව කරුණු මුල්කරගනිමින් ඒ පිළිබඳව අදහස් දැක්වීම බෲවර්ගේ කාර්යාලය ද ප්‍රතික්ෂේප කර තිබේ.
කිසිදු වලංගු වීසාවක් නොමැතිව කුක් දූපත්හි සිරවී සිටින ඇය දැනට ජීවත් වන්නේ පවුලේ ඥාතීන්ගෙන් ලැබෙන මුදල් ආධාරවලිනි. ටහිටි (Tahiti) දූපත් හරහා වෙනත් මාර්ගයකින් මව්බිමට පැමිණීමට දැරූ උත්සාහය ද අසාර්ථක වී ඇත. අවශ්‍ය නීතිමය පහසුකම් සපයන්නේ නම් ගුවන් යානයකින් නෙවෙයි නැවකින් හෝ ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බව පවසන ඇගේ කතාවෙන් නිරූපණය වන්නේ, විවිධ රටවල සංක්‍රමණික නීතිරෙගුලාසි අතර සිරවූ අසරණ මිනිසෙකු මුහුණදෙන දැඩි පීඩනයයි.

0 Comments