← BACKTravel

ඕක්ලන්ඩ් වැසියන්ට දෙසැම්බර් 11 දක්වා අවස්ථාවක්! රථවාහන ගාස්තුවට අකමැති නම් කරන්න ඕනේ දේ මෙන්න!

BY Dhanush•PUBLISHED NOVEMBER 13, 2026•1 MIN READ•0 COMMENTS

ඕක්ලන්ඩ් නගර සභාව විසින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති රථවාහන තදබද ගාස්තු (Congestion Charges) යෝජනාවලට විරුද්ධ වන පදිංචිකරුවන්ට, මහජන අදහස් විමසීමේ පෝරමයේ ඇති ‘වෙනත්’ (Other) යන කොටස භාවිත කර සිය විරෝධය පළ කරන ලෙස නගර සභා මන්ත්‍රීවරුන් පිරිසක් උපදෙස් දී තිබේ. දෙසැම්බර් 11 වැනිදා දක්වා විවෘතව පවතින මෙම මහජන අදහස් විමසීමේදී යෝජිත විකල්ප තුනක් පිළිබඳව අදහස් දැක්විය හැකි වුවත්, මෙම ගාස්තු ක්‍රමයට සම්පූර්ණයෙන්ම අකමැති බව ප්‍රකාශ කිරීමට වෙනම ‘නැත’ (No) යන විකල්පයක් ඇතුළත් කර නොතිබීම ඊට හේතුවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෝර්ත් ෂෝර් (North Shore) මන්ත්‍රී ජෝන් ගිලන් (John Gillon) සහ ඇල්බනි (Albany) මන්ත්‍රී ජෝන් වොට්සන් (John Watson) පෙන්වා දී ඇත්තේ, අදාළ පෝරමයේ ‘වෙනත්’ තීරුව සලකුණු කර සිය විරෝධය ලිඛිතව සටහන් කිරීමට ජනතාවට අවස්ථාව ඇති බවයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පදිංචිකරුවන් තුළ දැඩි විරෝධයක් පවතින බව පවසන ජෝන් ගිලන් මන්ත්‍රීවරයා, විශේෂයෙන්ම වැඩ කරන ජනතාවට මෙන්ම ඕක්ලන්ඩ් සහ ස්ටාර්ෂිප් රෝහල් (Starship Hospital) වෙත හදිසි අවශ්‍යතා සඳහා පැමිණෙන පිරිසට මෙම ගාස්තු ක්‍රමය දැඩි අසාධාරණයක් වනු ඇතැයි අනතුරු අඟවයි. රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට නොමිලේ හෝ ඉතා අඩු මුදලකට පොදු ප්‍රවාහන සේවා ලබා දීම වඩාත් සුදුසු විකල්පය බව ඔහුගේ අදහසයි. පෙරවරු 7.00 සිට 10.00 දක්වා සහ පස්වරු 3.00 සිට 6.00 දක්වා කාර්යබහුල වේලාවන්හිදී ඩොලර් 2ත් 7ත් අතර මුදලක් අය කිරීමට මෙමඟින් යෝජනා වී ඇති අතර, නගර මධ්‍යය, තදාසන්න වාණිජ ප්‍රදේශ සහ ප්‍රධාන අධිවේගී මාර්ග කොටස් ආවරණය වන පරිදි විකල්ප තුනක් ඉදිරිපත් කර තිබේ.

වාර්ෂිකව රථවාහන තදබදය නිසා ඕක්ලන්ඩ් ආර්ථිකයට ඩොලර් බිලියන 2.6ක පාඩුවක් සිදුවන බවත්, එක් මගියෙකුට වසරකට පැය 66ක් මහමඟ නාස්ති කිරීමට සිදුවන බවත් පෙන්වා දෙමින් නගරාධිපති වේන් බ්‍රවුන් (Wayne Brown) සහ නගර සභාව මෙම ගාස්තු ක්‍රමය වෙනුවෙන් පෙනී සිටියි. මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව 2027 මාර්තු මාසයේදී ප්‍රවාහන කමිටුව වෙත වාර්තා කිරීමටත්, 2028 මැද භාගයේදී ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අවසන් යෝජනාව ඉදිරිපත් කර 2030 හෝ 2031 වසරවලදී මෙය ක්‍රියාත්මක කිරීමටත් නියමිතව ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *