
📅 1912 මැයි 10 – 2000 අගෝස්තු 7
✦ ගල් ගෙයකින් ආරම්භ වූ කටුක ජීවිතය….
ස්කොට්ලන්තයේ Outer Hebrides දූපත් සමූහයට අයත් Isle of Lewis හි Tong නම් කුඩා ගම්මානයක් තිබුනා. මේ ගමේ දිළිඳු පවුලක් ජීවත් වුනා. 1912 මැයි 10 වන දින ධීවර පියෙකුට දාව කුඩා දැරියක් මේ පවුලේ බාලය විදියට උපත ලබනවා. ඇය නමින් මේරි ඈන් මැක්ලියෝඩ්.
ඇයගේ ළමා කාලය ගතවුණේ මුහුද අද්දර ගල් වලින් ඉදිකළ සරල සාමාන්‍ය නිවසක. දරුවන් දස දෙනෙක් ජීවත් වූ නිවසේ කුඩාම දරුවා වුනේ මේරි.
ඇගේ පියා ධීවරයෙකු වගේම විටෙක තැපැල් සේවකයෙකුද වුනා. පවුලේ ජීවිතය තරමක් දුෂ්කර වුණත්, එකිනෙකාට බැඳුණු සහ ආදරයෙන් පිරුණු පවුල් සම්බන්ධතාවයක් ඇතුළෙ ඔවුන් සතුටින් ජීවිතය ගතකළා.
Gaelic භාෂාව ඇගේ මුල් භාෂාව වුනා. ගමේ සංස්කෘතිය, සරල ජීවිතය ඇගේ ජීවිතයේ කොටසක් වුනා. ඒ වගේම කුඩා කාලයේ සිටම අභියෝග වලට මුහුණ දුන් මේරිගේ ජීවිතය එන්න එන්නම අසීරු වුනා.
✦ ළමා වියේදීම මුහුණ දුන් අමතක නොවන ඛේදවාචකය…..
1919 වසර,
ඒ වන විට යාන්තම් ඇයට වයස අවුරුදු 7ක් පමණ පිරී තිබුනා. මේ කාලයේ ඇගේ ජීවිතයේ සදාතනික ගැඹුරු සලකුණක් ඉතිරිකළ අවාසනාවන්ත සිදුවීමක් සිදු වුනා.
ඇගේ ගෙවල් පිහිටල තිබුනේ Stornoway වරාය අසල.
දිනක් යුද්ධයට ගිය HMY Iolaire නම් නෞකාවක් නැවත ස්කොට්ලන්තයට පැමිණෙමින් තිබුන. එහි යුධ සෙබළුන් විශාල පිරිසක් ගමන් කළා. හදිසියේ සිදුවූ අනතුරක් නිසා මේ නැව ගිලෙන්න පටන් ගත්තා. මේ අන්තුරින් සෙබළුන් 200 කට අධික පිරිසක් ජීවිතෙන් සමුගත්තා.
ඒ දුක්බර සිදුවීම Tong ගම පුරාම වාසය කළ සියලුම මිනිසුන්ගේ හදවත කම්පා කරන පුවතක් වුනා. එය කුඩා මේරිගේ හදවතටත් අමතක නොවන වේදනාවක් එක්කළා. මෙම අත්දැකීම ඇයට ජීවිතයේ අවිනිශ්චිත බවත්,
එමෙන්ම ශක්තිමත් වීමේ අවශ්‍යතාවත් හොදින් ඉගැන්නුවා.
✦ ජීවිතය වෙනස් කළ ගමනක්…..
වයස 18ක් වන විට, මේරි ඇගේ ජීවිතය වෙනස් කරගැනීමේ එක් තීරණයක් ගන්නවා. ඊට අනුව ඇය 1930 වසරේ, ඩොලර් 50ක් පමණක් අතැතිව තමන්ගේ උපන් ගමෙන් පිටවී යනවා. ඒ අලුත් ජීවිතයක් සොයා ඇමරිකාව බලා යන අරමුණින්.
Glasgow සිට නෞකාවකින් New York නගරයට පැමිණි ඇය, නව භාෂාවක්, නව සමාජයක්, නව සංස්කෘතියක් අතර
තනිවම තමන්ගේ ජීවිතය සොයා ගැනීමට උත්සාහ කළා.
ඇමරිකාවේ Great Depression නම් අර්බුදකාරී කාලයේ
ගෘහ සේවිකාවක් ලෙස වැඩ කරමින්, ඇය කඩාවැටෙන්නට නොදී ඇගේ ජීවිතය පියවරෙන් පියවර ගොඩනගා ගත්තා
✦ ආදරය, විවාහය සහ නව ජීවිතය….
New York නගරයේ ජීවිතය ගත කරමින් සිටියදී,
ඇයට හමුවුණේ Fred Trump නම් තරුණ ව්‍යාපාරිකයෙක්.
මෙම හමුවීම ඇගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් බවට පත් වුනා.
කාලයත් සමඟ ඔවුන් අතර තිබූ ආදරය ශක්තිමත් වී 1936 ජනවාරි 11 දින මේරි සහ ෆ්‍රෙඩ් විවාහ දිවියට එළබුනා.
මෙම විවාහයත් සමඟ, ස්කොට්ලන්තයේ පුංචි ගමක සිට ආ තරුණියක් වූ මේරි, New York නගරයේ සමාජ ජීවිතයේ
ගෞරවනීය ස්ථානයක් හිමි කරගත් කාන්තාවක් බවට පත් වුනා.
✦ ලෝක බලවතෙකුට උපත දුන් මව් පදවිය…
මේරි ඈන් මැක්ලියෝඩ් දරුවන් පස් දෙනෙකුගේ මවක්.
ඇය තම දරුවන්ට
💪🏻මහන්සි වී වැඩ කිරීම්.
🙌අභියෝගවලට මුහුණ දීම.
🤞ජීවිතය ගැන විශ්වාසය තබා ගැනීම.
යන ජීවිතයේ මූලික වටිනාකම් ඉගැන්වුවා.
1946දී ඇයගේ සිව්වන දරුවා ලෙස සුවිශේෂී පුදගලයෙක් උපත ලබනවා. ඒ අද ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්.
ඇයගේ ආචාර ධර්ම සහ ජීවිත දර්ශනය ට්‍රම්ප්ගේ ජීවිතය මත ද බලපෑමක් ඇති කළ බව අපිට විශ්වාස කරන්න පුළුවන්.
✦ ධනවත්, නමුත් සරලකම රැකගත් කාන්තාවක්….
ඇය සියල් සපිරි ජීවිතයක් ගත කළත්, තමන්ගේ මුල් වටිනාකම් කිසිදා අමතක නොකළා. ඇය නිතරම තමන්ගේ උපන් ගමට ගොස්, Gaelic භාෂාවෙන් කතා කරමින්
තම සංස්කෘතියට නිරන්තරයෙන් බැඳී සිටියා.
එමෙන්ම, රෝහල්වල ස්වේච්ඡා සේවය කරමින් කාලය ගෙවුවා. අන් අය සඳහා සේවය කිරීම ඇයගේ ජීවිතයේ වැදගත් කොටසක් බව ඇය දැඩි ලෙස විශ්වාස කළා.
✦ දුෂ්කරතා හමුවේ ඇත්නොහැරුනු ශක්තිය….
මේරිගේ ජීවිතය සෑම විටම පහසු නොවුනා. 1981දී ඇගේ පුතා තෙවන පුතා Fred Jr. මිය යාම ඇයට විශාල මානසික වේදනාවක් ගෙන දුන්නා.
තවද 1991දී, ඇය ඇගේ නිවස අසලදී වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතල ලෙස තුවාල ලැබුවා.
එවිට ඇයට වයස අවුරුදු 79ක් වූවත්,ඇය අභියෝගවලට මුහුණ දීමට බිය නොවුන ධෛර්යයෙන් ජීවිතය ඉදිරියට ගෙන ගැහැණියක් වුනා.
✦ මේරිගේ නිහතමානී සමුගැනීම….
වයස 88ක් ආයු වළදා 2000 අගෝස්තු 7 දින, මේරි ඈන් මැක්ලියෝඩ් ට්‍රම්ප් ලෝකයෙන් සදහටම සමු ගන්නවා.
ඇයගේ ජීවිතය අවසන් වුවද, ඇගේ ඉතිහාසය ජීවිත කතාව මේ මොහොතෙත් අපි කතා කරමින් සිටිනවා.
ඩොලර් 50ක් පමණක් අතේ තබාගෙන විදේශ ගමනක් ආරම්භ කළ තරුණියක්, පසුව ලෝකයේ බලවත්ම රටක නායකයෙකුගේ මව බවට පත්වීම. එය අහඹු සිදුවීමක් නොව,
ඇගේ ධෛර්යය, මහන්සිය, සහ අධිෂ්ඨානයේ ප්රතිඵලයකි.

0 Comments