
සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු ධනුෂ් සහභාගී වූ උත්සවයක් අතරතුර, වයෝවෘද්ධ කාන්තාවක් ඔහු ඉදිරියේ දණින් වැටී දෑත් එක්කර වැඳ වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.
කොයිම්බතූර්හි පැවති වෙළඳ ප්‍රචාරණ වැඩසටහනක් අතරතුර මෙම අපූර්ව සිදුවීම වාර්තා වූ අතර ධනුෂ් සිය රසිකයින් හමුවීමට පැමිණි අවස්ථාවේදී, ආරක්ෂක වැටවල් අසල සිටි මෙම කාන්තාව ඔහු දුටු විගස මහත් භක්තියකින් යුතුව බිම දණින් වැටී ඔහුට ආචාර කිරීමට උත්සාහ කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.
ඇය ධනුෂ් කෙරෙහි දක්වන ගෞරවය සහ ආදරය එම දර්ශනයෙන් මනාව පිළිඹිබු වන අතරම මෙම අන්පේක්ෂිත සිදුවීමෙන් මදක් පුදුමයට පත් වූ ධනුෂ්, වහාම ඉදිරියට පැමිණ ඇයව වළක්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
ඔහු ඉතා නිහතමානීව ඇය දෙස බලා සිනාසෙමින්, ඇයව නැගිටුවන ලෙස එතැන සිටි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර පසුව ඔහු ඇයට ආචාර කරමින් ඇයගේ ආදරය පිළිගන්නා බව සංකේතවත් කරන ආකාරය දැක්වෙන වීඩීයෝ පටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.
මෙම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා පවසන්නේ මෙය ධනුෂ්ගේ “රසික උන්මාදය” කෙතරම් ප්‍රබලද යන්නට කදිම නිදසුනක් බවයි., සිය රසිකයින් කෙරෙහි දක්වන නිහතමානී ගුණාංගය සහ එම කාන්තාවට ගෞරව කළ ආකාරය පිළිබඳව බොහෝ දෙනා ඔහුට ප්‍රශංසා කරමින් “ඔහු සැබෑ සුපිරි තරුවක් පමණක් නොව උතුම් මනුෂ්‍යයෙක්” යැයිද සමාජ මාධ්‍යයේ ඔස්සේ සටහන් කර තිබෙනවා.

0 Comments