← BACKUncategorized

මියගිය පුතුගේ සිහිවටනය වෙනුවෙන් සටන් වදින නවසීලන්ත මවකගේ සංවේදී කතාව!

BY DhanushPUBLISHED JUNE 1, 20261 MIN READ0 COMMENTS

සිය පුතුගේ මළසිරුර හමුවූ වෙරළ තීරයේ ඔහු වෙනුවෙන් සිහිවටන උද්‍යාන බංකුවක් (Memorial Bench) ඉදිකිරීමට ප්‍රාදේශීය බලධාරීන් අවසර නොදීම නිසා, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වෙසෙන මවක් බලධාරීන්ට එරෙහිව සිය සටන ඉදිරියටම ගෙන යන බවට ප්‍රතිඥා දී තිබේ.

Shara-Lee Porter නමැති මෙම මවගේ 20 හැවිරිදි පුත් Tyler, පසුගිය වසරේ ජූලි මාසයේදී නිවස බලා පැමිණෙමින් සිටියදී ලිස්සා වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. දින 11ක දැවැන්ත සේවීම් මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර Arkles Bay වෙරළ තීරයෙන් සොයාගැනිණි. ටයිලර් අවසන් වරට සිටි සහ ඔහු බෙහෙවින් ඇලුම් කළ එම වෙරළේ ඇති ගසක් යට, පවුලේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිහිවටන බංකුවක් තැබීමට මව කළ ඉල්ලීම ප්‍රාදේශීය සභාව (Hibiscus and Bays Local Board) විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ප්‍රාදේශීය සභාව පවසන්නේ පොදු උද්‍යාන සියලු දෙනාටම විවෘත පොදු ස්ථාන ලෙස තබා ගැනීමට අවශ්‍ය බැවින් මෙවැනි පෞද්ගලික සිහිවටන ඉදිකිරීමට අවසර දිය නොහැකි බවයි. රීතිවලට අනුව එවැනි සිහිවටනයක් තැබිය හැක්කේ සමාජයට හෝ සංස්කෘතියට සුවිශේෂී මෙහෙවරක් කළ අයෙකුට පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.

නමුත් මේ තීරණයෙන් දැඩි සේ කම්පනයට පත් මව, සහයෝගය දක්වන 3,000 කට අධික පිරිසකගේ අත්සන් සහිත පෙත්සමක් ද රැගෙන නැවත වරක් බලධාරීන් හමුවට පැමිණියාය. “මගේ පුතා මියයන විට 21 වැනි උපන්දිනයටත් සති හයක් ඉතිරිව තිබුණා. සමාජයට ලොකු වැඩ කොටසක් කරන්න තරම් ඔහු 80 හැවිරිදි වෘද්ධයෙක් නෙවෙයි. මම මගේ පුතා වෙනුවෙන් මේ සටන අත්හරින්නේ නැහැ,” යැයි ඇය සංවේගයෙන් යුතුව කියා සිටියාය.

මේ අතර, ටයිලර් වෙනුවෙන් එම ස්ථානයේ තබා ඇති තාවකාලික සිහිවටන සහ ඡායාරූප ද කිහිප වතාවක්ම නාඳුනන පිරිස් විසින් විනාශ කර සොරකම් කර ඇති අතර, එය ද මෙම පවුලේ මානසික බිඳවැටීමට තවත් හේතුවක් වී තිබේ. බලධාරීන් පවුලේ අයට වෙනත් විකල්ප යෝජනා කර ඇතත්, මව පවසන්නේ මෙම ස්ථානය තම පුතා වෙනුවෙන් පමණක් නොව, මුළු මහත් ප්‍රජාවටම එකට එකතු වී දුක බෙදාගන්නා සංවේදී ස්ථානයක් බවට පත්ව ඇති බවයි.

මේ සිදුවීම ඔබ දකින්නේ කෙසේද? මවගේ වේදනාවට රජයෙන් සරණක් ලබාදිය යුතුද? නැතිනම් බලධාරින් පොදු නීතියට අනුව කටයුතු කළ යුතුද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *